Monday, December 23, 2024
Follow Us
මරණ දඬුවම නවත්තන්න කවුරුවත් උත්සාහ ගන්න එපා

මරණ දඬුවම නැවත ස්ථාපිත කිරීම අත්හිටුවීම සඳහා කිසිවෙකුත් උත්සාහ නොගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කවරෙකුගේ බලකිරීමක් මත හෝ ඉල්ලීමක් මත තමන් ගත් තීරණය ආපසු හැරවීමක් සිදු නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ අද (28) පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන්ට ඔවුන් සමග කිසිදු පෞද්ගලික වෛරයක් නොමැති බවයි. රටේ අනාගත පරපුර ආරක්ෂා කර ගැනීමට නම් මත් රකුසා පරාජය කළ යුතු බවත් ඒ සඳහා මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම විශාල පිටුවහලක් වනු ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් ඊයේ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙර්ස් සමග ද දුරකතනයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම සඳහා හේතු වූ කරුණු පිළිබඳව මහ ලේකම්වරයා දැනුවත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව අද අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබූ අතර එහිදී අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරි දින 07 ක කාලය තුළ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවයි.

(LNW)