Tuesday, July 01, 2025
Follow Us
සිනමා කර්මාන්තයට ඉදිරි අයවැයෙන් සහන

රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීම සඳහා ලබාදිය හැකි සහන මෙවර අයවැයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වර්තමාන සිනමා ක්ෂේත්‍රයට ඇතිවු ගැටලු පිළිබඳව ඊයේ (27) අරලියගහ මන්දිරයේ දී සිනමා ක්ෂේත්‍රයේ නියුතු වූවන් සමඟ පැවැති සාකච්ඡාවේ දී අග්‍රමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී, සිනමා ශාලා විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය උපදෙස් මේ වනවිට සිනමා ශාලා හිමියන් වෙත ලබා දී ඇති බව පෙන්වාදුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කර ඇත්තේ දුරස්ථභාවය ඇතුළු චර්යාත්මක වෙනස පවත්වාගෙන යමින් වෛරසය පාලනය කිරීමට තවදුරටත් සෞඛ්‍ය අංශවලට සහාය ලබා දෙන ලෙසයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ කලාකරුවන්ට ලබාදුන් සහන පිළිබඳව ද මෙහි දී සිහිපත් කළ සිනමා ශාලා හිමියන් පෙන්වා දුන්නේ පසුගිය රජය සමයේ එම බදු සහන ඉවත් කිරීම නිසා සිනමා කර්මාන්තයේ යෙදී සිටින බොහෝ පිරිස් අපහසුතාවයට පත්ව සිටින බවයි.

ඉකුත් රජය සමයේ සිනමා ක්ෂේත්‍රයට අහිමි කළ බදු සහන නැවත ලබාදෙන ලෙස ද මෙහි දී සිනමා කර්මාන්තයේ යෙදී සිටින පිරිස් අග්‍රමාත්‍යවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකය බිඳ වැටී ඇති ආකාරය පිළිබඳව මෙහි දී විස්තර කළ අග්‍රාමාත්‍යවරයා සිනමා කර්මාන්තයේ නගාසිටුවීම සඳහා රජයක් වශයෙන් ලබාදිය හැකි සහන ඉදිරි අයවැයෙන් ලබා දෙන බව ද සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දින සියයකට වැඩි කාලයක් සිනමා ශාලා වසා දමා තිබුණ ද සිනමා ශාලා යාවත්කාලීනව පවත්වාගෙන යාම සඳහා සිනමා ශාලා හිමියන්ට විශාල පිරිවැයක් දරන්නට සිදු වූ බව ද එහිදී සාකච්ඡා විය.

සිනමාශාලාවල විදුලි බිල් වෙළෙඳ ගණනය කිරීම යටතේ ගණනය කිරීම වෙනුවට කර්මාන්ත ගණනය කිරීම යටතේ ගණනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද මෙහිදී සිනමා ශාලා හිමියන් ඉල්ලීමක් කළේය.

මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමකට එළඹෙන්නැයි අග්‍රාමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාට උපදෙස් තිබේ.

(Aruna)