Tuesday, July 01, 2025
Follow Us
පසුගිය රජය සමයේ ලබා දුන් අවිධිමත් ණය සහ මූල්‍ය අක‍්‍රමිකතා සෙවීමට කොමිසමක්

යහපාලන ආණ්ඩුව සමයේ රාජ්‍ය බැංකු මඟින් අවිධිමත් ආකාරයෙන් ලබා දුන් ණය පිළිබඳව සහ සිදු කරන ලද මුල්‍ය අක‍්‍රමිකතා පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කඩිනමින් කොමිසමක් පත් කරන බව මුදල් අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, අග‍්‍රාමාත්‍යවරයා සහ ලංකා බැංකු සේවක සංගමය අතර ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡුාවකදී එම සංගමය සිදු කළ ඉල්ලීමකට අනුවයි. රාජ්‍ය බැංකුවල පවතින ගැටලූ‍ පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

රාජ්‍ය බැංකුවල සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප් ගැටලූ‍ව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කර, ඒ හරහා කඩිනමින් විසඳුම් ලබාදීමට අග‍්‍රාමාත්‍යවරයා තීරණය කළ බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

2019 වර්ෂයට අදාළව රාජ්‍ය බැංකු මගින් මෙතෙක් ලබා නොදුන් දිරි දීමනා පාරිතෝෂිකය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ මුල්‍ය අර්බුදය ද සැළකිල්ලට ගනිමින් එම දිරි දීමනාව රාජ්‍ය බැංකු සේවකයින්ට ලබා දීමට අදාළ ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත්තේ.

රාජ්‍ය බැංකුවල පවතින ඉහළ කළමණාකාරිත්වයේ පරිපාලන ගැටලූ‍ සම්බන්ධයෙන් ද ලංකා බැංකු සේවක සංගමය විසින් මෙම සාකච්ඡාවේදී අග‍්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු දක්වා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සාකච්ඡුාව සඳහා අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර, වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ සහ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක ඇතුළු එම සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියා.

(Neth)