Tuesday, July 01, 2025
Follow Us
කුඩා ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීමට නිදහස දිය යුතු බව ජනපති කියයි

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලූ සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත‍්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම හා වෙළෙඳ ප‍්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම වන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහාය රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයට ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළා. එය එම පිරිස බැඳීම්වලට ලක් කිරීමට නොව අවශ්‍යතා ඉටුකර ගැනීමට දායකවීම සඳහා පමණක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කළේ.

සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන අනූදහසක් පමණ රට පුරා ඇති අතර, ලක්ෂ හතරහමාරකට අධික පිරිසක් ඒවායේ සේවයේ නිරත වනවා. ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15ක් පමණ වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රූපලාවන්‍ය වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබාදීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවේ NVQ 05, 06 සහ 07 අදියර සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා තුනෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සහන් කළේ.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ සහ රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් සාකච්ඡාව සඳහා එක් වුණා.

(Neth)