වසරක් තුළ ලාභ උපයා පෙන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (24 වැනිදා) ලංකා ලුණු (පෞද්ගලික) සමාගමට දැනුම් දුන්නේය. ලංකා ලුණු (පෞද්ගලික) සමාගම 2018 වසරේ සිට පාඩු ලබන බවද වසර තුනක් ඇතුළත මෙසේ පාඩු ලැබීමට හේතු සොයා බලා ලාභ ලබන තත්ත්වයට පත්කිරීම එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
ලංකා ලුණු පෞද්ගලික සමාගම 2016 දී රුපියල් කෝටි 70ක ලාභයක් ලබා ඇත. 2017 වසරේදී එහි ලාභය කෝටි 32 දක්වා අඩුවී ඇති අතර 2018 දී ලක්ෂ 28ක පාඩුවක් පෙන්වා තිබේ. 2019 වසරේදී එහි පාඩුවව එක්කෝටි අනූ එක්ලක්ෂයකි.
2018 වසරේදී මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා රුපියල් දහ අටකෝටි තිස් හත් ලක්ෂයක්ද 2019 වසරේදී රුපියල් දහනව කෝටි පන්ලක්ෂයක මුදලක්ද වැයකර ඇත. 2020 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා රුපියල් කෝටි අටක ලුණු මෙරටට ගෙන්වා ඇත.
ලංකා ලුණු පෞද්ගලික සමාගමේ වර්තමාන තත්ත්වය විමසීම සඳහා ඊයේ (24 වැනිදා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දෙනලදී.
ලුණු සංස්ථාව 1998දී පෞද්ගලිකකරණයට සැලසුම් කර තිබියදී මහින්ද රාජපක්ෂ කම්කරු ඇමැතිවරයා ලෙස මැදිහත්ව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) යටතට පවරාගනු ලැබීය. පසුව සංස්ථාවේ ප්‍රාග්ධනයෙන් සියයට අනූවක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන්ද ඉතිරි සියයට දහය සේවකයන්ද හිමිකරගත් බව ලංකා ලුණු පෞද්ගලික සමාගම පසුව ඉතා ඉහළ ලාභ ලබන සමාගමක් බවට පත්විය.
සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල යටතේ ඇති සමාගමක් මෙසේ පාඩු ලැබීම කිසිසේත් සිදු නොවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉදිරි මාස හයට සහ වසරක කාලය සඳහා වෙන වෙනම සැලසුම් සකස් කර ලාභ ඉපයීමට පියවර ගන්නා ලෙසද පැවසුවේය.
මින් ඉදිරියට ලුණු ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවද 2015 ට පෙරමෙන් ලුණු නිෂ්පාදන අපනයන කරන තත්ත්වයට සමාගම පත්කළ යුතු බවද අවධාරණය කළ ජනාධිපතිවරයා පාඩු ලැබීම පිළිබඳ නිදහසට කරුණු වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපාය මාර්ග තමාට ඉදිරිපත් කරන ලෙසද සභාපතිට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට පෙන්වා දී තිබේ.
(Aruna)