Saturday, February 07, 2026
Follow Us
ජනපති ඉදිරිපත් කළ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව සම්මත කරයි

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයින් ලෙස ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ පත් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම සභාව ඊයේ (24) පස්වරුවේ කථානායක නිල නිවසේදී රැස්වූ අවස්ථාවේදීයි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන දේශපාලන හා සිවිල් නියෝජිතයින් කිහිපදෙනෙකු මෙම සාකච්ඡාවට එක් වුණා.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ මුදල් මණ්ඩලය සඳහා ඉදිරිපත් කර තිබූ ඉහත නාමයෝජනා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව සම්මත කර තිබෙනවා.

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩු ඇති වුණේ එහි සාමාජිකයින් ලෙස කටයුතු කළ නිහාල් ෆොන්සේකා සහ දුෂ්නි වීරකෝන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමත් සමගයි.

(Neth)