මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඇමෙරිකානු ඩොලර් 100 ක අතිරේක ගාස්තුවක් වීසා ගාස්තුවට එක්කර අය කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත.
ඒ පසුගියදා සංචාරක කර්මාන්තයට සම්බන්ධ නියෝජිතයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.
පසුගිය සතියේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය නිවේදනය කරනු ලැබුවේ අගෝස්තු 1 වැනිදායින් පසුව මෙරටට පැමිණෙන විදේශිකයන්ගෙන් දැනට අය කෙරෙන ඩොලර් 35ක වීසා ගාස්තුව සංශෝධනය කරමින් ඊට පී.සී.ආර්. පරීක්ෂණ ගාස්තුවක්ද එක්කොට ඩොලර් 100 ක් අයකරන බවයි. අගමැතිවරයා සමග පැවැති අදාළ සාකච්ඡාවේදී මෙම අතිරේක ගාස්තුව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරී ඇති අතර සංචාරක මණ්ඩලය තර්ක කර ඇත්තේ කොවිඩ් – 19 පරීක්ෂණ වෙනුවෙන් විදේශිකයන්ගෙන් අමතරව ගාස්තුවක් අයකිරීම සාධාරණ බවයි.
කෙසේ වෙතත් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු අනෙකුත් පිරිස්වල මතය සලකා බලමින් අගමැතිවරයා පවසා ඇත්තේ පෙර මෙන් ඩොලර් 35 ක වීසා ගාස්තුව පමණක් විදේශිකයන්ගෙන් අයකරන ලෙසයි. පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ගාස්තු අය කළ යුතු නම් එය වෙනම අඩු ගාස්තුවක් ලෙස අයකරන ලෙසත් වීසා ගාස්තුවෙන් එම අතිරේක අයකිරීම ඉවත් කරන ලෙසත් අගමැතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.
මෙම ගාස්තු සංශෝධනය වෙනුවෙන් අදහස් පළකර ඇති කොළඹ නගර සංචාරක හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර් පෙන්වා දී ඇත්තේ යුරෝපා රටවල සංචාරකයන්ට සිය රටින් පිටවීමේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඊට යුරෝ 245 ක් පමණ වැයවන බවත්ය. එලෙස පරීක්ෂණ සිදුකොට මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙරටදීද පී.සී.ආර්. පරීක්ෂණ වෙනුවෙන් තවත් ඩොලර් 100 කට ආසන්න මුදලක් අයකිරීම අසාධාරණ බවයි.
(Aruna)