Tuesday, July 01, 2025
Follow Us
වයස 16ට අඩු ළමුන් සේවයේ යෙදවීම අත්හිටුවයි - නව රජයෙන් තීරණයක්

වයස අවුරුදු 16 ට අඩු ළමුන් සේවයේ යෙදවීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, හෙටට යෙදෙන ‘‘ලෝක ළමා ශ‍්‍රම විරෝධී දිනය’’ ට සමගාමීවයි. ඒ අනුව ළමුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පවතින පනත් 05 ක් සංශෝධනය කිරීමටද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවකයින් පිිළිබඳ පනත, 1956 අංක 47 දරණ ස්තී‍්‍රන්, තරුණයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත, ඉන්දියානු කම්කරු අවම වේතන ආඥා පනත, 1942 අංක 45 දරණ කර්මාන්ත ශාලා ආඥා පනත සහ 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මෙලෙස සංශෝධනය කෙරෙනු ඇති.

මේ අතර ඉකුත් රජය මගින් රජයේ පාසැල්වල දරුවන් සඳහා ආරම්භ කළ ‘‘සුරක්ෂා’’ සිසු රක්ෂණ ආවරණය, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා කි‍්‍රයාත්මක කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකගතාවකට පැමිණ ඇති අතර ඒ අනුව පෞද්ගලික රක්ෂණ සමාගමක් මගින් කි‍්‍රයාත්මක කළ සුරක්ෂා සිසු රක්ෂණ ආවරණය, ඉදිරියේදී ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා කි‍්‍රයාත්මක කෙරෙනු ඇති.

මේ අතර ඉන්දියානු ණය පහසුකම් යටතේ සූර්ය බලශක්තිය උපයෝගී කරගනිමින් රජයේ ගොඩනැගිලිවලට සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලි පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් වන යෝජනාවකට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මීට අමතරව රජයේ නව රස පරීක්ෂක ලෙස ගෞරී රාමනා පත් කිරීමට ද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. ගෞරී රාමනා මීට පෙර කටයුතු කළේ රජයේ නියෝජ්‍ය රස පරීක්ෂකවරිය ලෙසයි.

රජයේ රස පරීක්ෂක ලෙස මීට පෙර කටයුතු කළ ඒ වැලිඅංගේ ඉකුත් දා එම තනතුරෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් මෙම නව පත්කිරීම සිදුකර තිබෙනවා.

(Neth)