Tuesday, July 01, 2025
Follow Us
දොළොස් ලක්ෂයක් පාසල් දරුවන්ගේ පෝෂණ මල්ල ලබන සතියේ සිට

පාසල් දිවා ආහාර ව්‍යාපෘතියට අයත් දොළොස් ලක්ෂයක් පමණ වන දරුවන් සඳහා වන පෝෂණ මල්ල ලබන සතියේ සිට සිසුන්ට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

රුපියල් 996ක් වටිනා මෙම පෝෂණ මල්ලට බිත්තර දොළහක් සමග මුංඇට, කව්පි, කඩල, සමපෝෂ ඇතුළු පෝෂ්‍යදායි වියළි ආහාර ඇතුළත් වන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් චන්ද්‍රසේකර ‘අරුණ’ට ඊයේ (10 වැනිදා) පැවසීය. වියළි ආහාර ලබා ගැනෙන්නේ ස.තො.ස. ආයතනයෙනි. කලාප අධ්‍යාපන කාර්යාල මගින් මෙම පෝෂණ මලු සිසුන්ට ලැබීමට සලස්වන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

මාර්තු, අප්‍රේල්, මැයි හා ජුනි යන මාස හතර වෙනුවෙන් පමණක් මෙම පෝෂණ මල්ල ලබා දෙන බවත් පාසල් ආරම්භ කිරීමෙන් පසු එම සිසුන්ට සාමාන්‍ය පරිදි දිවා ආහාරය ලබා දෙන බවත් ලේකම්වරයා කීවේය.

කොවිඩ් වෛරස් තත්ත්වය මත පාසල් වසා තැබීමට සිදු වීම නිසා දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර එම මුදලින් සිසුන්ට පෝෂණ මල්ලක් ලබා දීමට අමාත්‍යාංශ තීරණය කළේ ඒ අනුවය.

(Aruna)