Tuesday, July 01, 2025
Follow Us
පෙරහුරු ජන්දය සාර්ථකයි - මහ මැතිවරණය ගැන කොළ එළියක්

පෙරහුරු මැතිවරණයට අනුව නම් මැතිවරණය පැවැත්වීමේ බරපතල ගැටළුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ අද (07) අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවති පෙරහුරු මැතිවරණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම පෙරහුරු මැතිවරණයෙන් බලාපොරොත්තු වූයේ දරාගත හැකි සාමාන්‍ය තත්ත්වයක් යටතේ ජන්ද විමසීමක් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයකට පැමිණීම සඳහා බව සභාපතිවරයා කියා සිටියි.

"අපි බලාපොරොත්තු වුණේ මොකක්ද මේකෙන්. දරාගත හැකි ආකාරයේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ කොහොමද ජන්ද විමසීමක් පවත්වන්නේ. එකේදී පැයකට කොපමණ ජන්ද ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද? අද අපි උදේ 10.00ට පටන් අරගෙන 12.00ට අවසන් කරනකොට ජන්ද 239ක් පාවිච්චි කරලා තිබුණා. බැලුවම දැන් පෙනෙනවා පැය 09ක කාලයේදී අපට සාමාන්‍යයෙන් තනි පෝළිමක ජන්ද 900ක් 1000ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් කියල එක විදිහටම ජන්ද දායකයන්ගේ පැමිණීම තිබුණොත්. නමුත් ලොකුවට සෙනග රැස්වුනොත් මේක පවත්වන්නේ කොහොමද? අනික මේ ජන්ද මධ්‍යස්ථානය සාමාන්‍යයෙන් අපේ පොතේ තියෙන ජන්ද මධ්‍යස්ථානයක්. ඇතුල් වීමට දොරටුවක් තිබෙනවා. පිටවීමට දොරටුවක් තිබෙනවා. හොඳින් වාතාශ්‍රය තිබෙනවා. මීට වඩා කුඩා ස්ථානයක තියන්නේ කොහොමද? එවැනි තත්ත්ව යටතේ මැතිවරණය පැවැත්වීමට ක්‍රියාමාර්ග හදාගැනීම සඳහා තමයි මේ නව ක්‍රමවේද වක්ලට යන්නේ."

මේ අතර කුඩා ප්‍රජා ශාලා වැනි තැන්වල ජන්ද විමසීමක් සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන අතර ඉදිරියේදී තවත් ප්‍රදේශ පිළිබඳ සලකා බලා තීරණයක් ගැනීමට සිදුවන බවයි මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ.

"ප්‍රජාතන්ත්‍රවාදය මිලෙන් අධිකයි. ඒක ලාබෙට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ජන්දයට යන වියදම අපි හිතන් හිටියේ අපි දන්න විදිහට කිව්වොත් කෝටි 600ක් 650ක් අතර මේක කෝටි 800 වෙයිද 900 වෙයිද කියලා කාටවත් කියන්න බැහැ."

ඒ අනුව එකින් එකය වියදම ගණනය කිරීම තවත් සති දෙකකින් පමණ කළ හැකි බව හෙතෙම ප්‍රකාශ කරයි.

(LNW)