Tuesday, July 01, 2025
Follow Us
මුල්‍ය ආයතනවල තැන්පතු වලින් මහ බැංකුව වග කියන්නේ ලක්ෂ 6 කට පමණි

ලියාපදිංචි මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කළ විට ශ්‍රී ලංකා මහ බැංකුව තැන්පත්කරු වෙනුවෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ හයක මුදලකට පමණක් බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ ( 04) ප්‍රකාශ කළේය.

ඒ අනූව , පසුගියදා බලපත්‍රය අහෝසි කරන ලද ‘ ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හයක උපරිමය දක්වා වන්දි මුදලක් ලබන සඳුදා (07) සිට ලබා දෙන බව ඇමැතිවරයා පැවැසීය.

රුපියල් ලක්ෂ හයකට වඩා වැඩි මුදලක් තැන්පත්කර ඇත්නම් ඉතිරි මුදල ‘ද ෆිනෑන්ස් සමාගමේ’ වත්කම් ඈවර කළ පසුව ගෙවනු ලබන බවද හෙතෙම කීවේය.

රුපියල් ලක්ෂ හය බැගින් වන්දි දුන් පසු මුළු තැන්පත්කරුවන්ගෙන් සියයට අනූතුනක ප්‍රශ්නය විසඳෙන බවද ඈවර කිරීම තුළින් ගෙවීමට තිබෙන්නේ සියයට හතකගේ තැන්පතු මුදල් බවද කී ඇමැතිවරයා ලියාපදිංචි මූල්‍ය ආයතනයක මුදල් තැන්පත් කිරීමේදී සුරක්ෂිත ප්‍රමාණය රුපියල් ලක්ෂ හයක් පමණක් බව ගනුදෙනුකරුවන් දැනගතයුතු බවද කීවේය.

ඊ.ටී.අයි. සමාගමේ තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හය බැගින් වන්දි මුදලක් ගෙවීමට නොහැකිවී ඇත්තේ එම තැන්පත්කරුවන්ගේ සංගමය අධිකරණ ක්‍රියා මාර්ගයකට ගොස් ඇති නිසා බවද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මෙහිදී පැවැසුවේය.

‘ද ෆිනෑන්ස් සමාගමේ’ තැන්පත්කරුවන්ට රුපියල් ලක්ෂ හය බැගින් ගෙවීම සඳුදා සිට මහජන බැංකුව මගින් සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශකර සිටී. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ 011 2398788, 0112477261 දුරකථන අංක සහ මහජන බැංකුවේ 0112481594, 0112481320, 0112481612 , 0112481703 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකි බවද මහබැංකුව දැනුම්දී සිටී.

(Aruna)