Tuesday, July 01, 2025
Follow Us
මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම ලබන සතියේ

ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

තවදුරටත් ඔහු සඳහන් කළේ අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව රැස්වුවද දිනය ප්‍රකාශයට පත් කිරීමක් සිදු නොකරන බවය.

කෙසේ වෙතත්, ඉදිරි මහ මැතිවරණයට අදාළ වෙනත් කරුණු කිහිපයක් අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සහ ජූනි 20 වනදා මැතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරිමටයි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව තීන්දු කළේ ය.

ඉන් අනතුරුව, ගත යුතු ක්‍රියාමාර්ග තිරණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ රැස්විම අද පස්වරුවේ පැවැත්වෙයි.

එමෙන්ම, මහ මැතිවරණයේ මනාප අංක නිකුත් කිරීමේ ගැසට් නිවේදනමය සකස් කර අවසන් බව රජයේ මුද්‍රනාලායාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළේ ය.

ඇය කියා සිටියේ මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවය.

එමෙන්ම, මැතිවරණයට අදාළ වෙනත් මුද්‍රණ කටයුතු වේගවත්ව සිදු කළ යුතුද යන්න තීරණය වන්නේ ද කොමිෂන් සභාව ලබා දෙන දින අනුව බව ඇය සඳහන් කළා ය.

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ විශේෂඥ කමිටුව අද දිනයේත් රැස් විය.

එහිදි සකස් කෙරෙන නිර්දේශ ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එමෙන්ම, මහ මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන, ආචාර ධර්ම සහ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව විසින් අද රජයේ මුද්‍රණාලය වෙත ලබාදීමට නියමිතව තිබේ.

 

(Lanka Leads)