Saturday, May 18, 2024
Follow Us
ඉදිකිරීම් ස්ථානවලටත් මාර්ගෝපදේශන මාලාවක්

ජන ජීවිතය ක‍්‍රමයෙන් යථාතත්ත්වයට පත් වෙමින් තිබියදී ඉදිකිරීම් ස්ථානවල කටයුතු යළි ආරම්භ කිරීම සඳහා පිළිපැදිය යුතු මාර්ගෝපදේශන මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉදිකිරීම් ස්ථාන සඳහා සේවයට කැඳවන කම්කරුවන් සංඛ්‍යාව හැකිතාක් සීමාකරන ලෙස ද එහි සඳහන්.

ඔවුන්ට ප‍්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් තිබිය යුතු අතර කම්කරුවන් මුඛ ආවරණ පැළඳ සිය රාජකාරී කිරීම අනිවාර්යයි. වැඩබිම් සඳහා ඇතුළුවීමේදී ශරීර උෂ්ණත්වය මැනීම හා ශ්වසන රෝග ලක්ෂණ ඇත්නම් එය පරීක්ෂා කිරීමට කටයුතු සම්පාදනය කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙන්නේ.

වැඩබිම් තුළ විෂබීජනාශක ද්‍රව්‍ය සහ ජල පහසුකම් ද තිබිය යුතුයි. ඉදිකිරීම් ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන පවතීනම් ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. හැකි සෑමවිටම අන් අය සමග ආයුධ, උපකරණ සහ මෙවලම් හවුලේ භාවිතය අවම කළ යුතු බව ද එම මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙනවා.

අභ්‍යන්තර සේවකයින්ගේ පිටවීම සහ බාහිර පුද්ගලයින් වැඩබිම් තුළට ඇතුළුවීම ද පාලනය කළ යුතුයි. වැඩබිම් දුම් පානයෙන් තොර කලාපයක් බවට පත් කළ යුතු අතර ඉදිකිරීම් ස්ථානවල සෝපාන තිබේනම් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි වරකට ගමන් කරන පුද්ගලයින් සංඛ්‍යාව ද සීමා කළ යුතු වනවා. ඉදිකිරීම් ස්ථානවල කටයුතු ආරම්භ කිරීමට පෙර මෙම මාර්ගෝපදේශයන් පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කළේ.

(Neth)