Wednesday, July 02, 2025
Follow Us
ශරීර සුවතා මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි - රජයෙන් උපදෙස් මාලාවක්

ජන ජීවිතය ක‍්‍රමයෙන් යථාතත්ත්වයට පත් වෙමින් තිබියදී ශරීර සුවතා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුඛ ආවරණ හා විෂබීජ නාශක වැනි පහසුකම් එම මධ්‍යස්ථානවලට අවශ්‍යතා අනුව ලබාදීමත්, අවම කාර්යය මණ්ඩලයක් යොදා ගැනීමත් සිදුකළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

ශරීර සුවතා මධ්‍යස්ථානවලට පැමිණෙන පුද්ගලයින් මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය අතර ව්‍යායාම් උපකරණ සැලකිය යුතු පරතරයකින් තැබිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ එම මාර්ගෝපදේශන මාලාවේ ඇතුළත් වන්නේ.

එකිනෙකා මුහුණට මුහුණ ගැටෙන ලෙස ව්‍යායාම් සිදුනොකළ යුතුයි. දොරටුව අසල සබන් දා අත් සේදිය හැකි වන පරිදි ස්ථානයක් සකස් කළ යුතු අතර ශරීර සුවතා මධ්‍යස්ථාන වෙත පැමිණෙන සියලූ පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමට ද කටයුතු කළ යුතු වනවා.

වරකට ශරීර සුවතා මධ්‍යස්ථානවල රැඳෙන පිරිස සීමා කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ මාර්ගෝපදේශන මාලාවේ සඳහන් වන්නේ. එක් සැසියක් පැයකට හෝ අඩු කාලයකට සීමා කළ යුතුයි.

අධික තදබදය වැළැක්වීම සඳහා එක් පුද්ගලයෙකුට සතියකට දින 02 ක් හෝ 03 ක් පුහුණුවීම් අවස්ථා ලබාදිය යුතු වනවා.

දිනකට අවම වශයෙන් 03 වරක්වත්, ශාරීරික සුවතා මධ්‍යස්ථානය විෂබීජහරණය කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ මාර්ගෝපදේශන මාලාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ශරීර සුවතා මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට සෞඛ්‍ය බලධාරීන් අවසර ලබාදුන් පසු එහි හිමිකරුවන් විසින් මෙම මාර්ගෝපදේශයන් කි‍්‍රයාත්මක කළ යුතු වනවා.

(Neth)