Saturday, November 08, 2025
Follow Us
කලූ කොටියාගේ මරණයත් සමග පරිසරවේදීන් වනජීවී නීති සංශෝධනයක් ඉල්ලයි

නල්ලතන්නිය ප‍්‍රදේශයේදී මද්දකට හසුව මුදාගැනීමෙන් පසු උඩවලව ඇත්අතුරු සෙවනේදී ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දුර්ලභ කලූ කොටියා පිළිබඳ මේවනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. පරිසරවේදීන් පෙන්වාදෙන්නේ සතුන් දඩයම් කිරීම සඳහා උගුල් අටවන පුද්ගලයින්ට එරෙහිව නීති සංශෝධනය කර ඒවා දැඩි කිරීමට කටයුතු කළ යුතු බවයි.

එසේ නොවුනහොත් මෙවැනි දුර්ලභ සතුන් රැසක් මෙරටින් තුරන් විය හැකි බවයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ.

කඳුකර ප‍්‍රදේශවලින් වාර්තා වන සීමිත ගහණයක් සහිත මෙම දුර්ලභ කලූකොටි විශේෂය රැකගැනීම සඳහා අදාළ බලධාරීන් මීටවඩා අවධානය යොමු කළ යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මද්දකට සතෙකු අසුවූ විටෙකදී ඒ අසලට ජනතාව ඒකරාශීවිම වැළැක්වීම සඳහා ද වනජීවි බලධාරීන් වහා කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

මෙම දුර්ලබ කළු කොටියා ඊයේ මියගියේ අදාළ මද්ද ඇට වූ පුද්ගලයා ඇප මත මුදාහැර ඇති පසුබිමකයි. සතුන් දඩයම් කරන සහ උගුල් අටවන පුද්ගලයින්ට එරෙහිව පවතින නීති සම්බන්ධයෙන් නෙත් නිවුස් වනජීවී දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.

(Neth)