Friday, July 04, 2025
Follow Us
නීතිපතිගේ මූලික විරෝධතාවලට පිළිතුරු

මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ පසු මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා අද (19) සිය දේශන ඉදිරිපත් කරමින් පවසා සිටියා.

නමුත් මේ අවස්ථාවේ ජූනි මස 02 වැනිදා වන විට මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස්විය නොහැකි නිසා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත වන බව නීතිඥවරයා පවසා සිටියා.

පාර්ලිමේන්තුව, අධිකරණය සහ විධායකය යන ආයතන තුන එකිනෙකට බලතල සංවරණය හා තුලනය මගින් ක්‍රියාත්මක වන බවත් ඒ අනුව පාර්ලිමේන්තුව මාස තුනක් ඇතුළත කැදවීම මහජන ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය කාරණයක් බව පවසා සිටියා.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සදහා පිළිතුරු දෙමින් පවසා සිටියේ රට තුළ ඇදිරි නීති තත්ත්වයක් පැවැති නිසා පෙත්සම්කරුවන්ට මෙම පෙත්සම් මාසයක් ඇතුළත ගොනු කිරීමට නොහැකි වූ බවයි.

එම නිසා එවැනි අවස්ථාවකදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ නොතබනු ඇති බවට තමා විස්වාස කරන බව ඔහු පවසා සිටියා.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගි විය යුතු බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසා සිටියා.

---------------------------------

පෙත්සම් විභාගය ඇරඹේ

(19-05-2020 10:28)

 

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර විභාග කිරීම අද (19) පෙරවරු 10:10 ට ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලාවේ දී අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ආරම්භ කෙරුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෘ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන සහ විනිසුරු විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ කරන ලදි.

එහිදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා සිය දේශන ආරම්භ කරන ලදි.

නීතීඥ චරිත ගුණරත්න විසින් මුල්වරට මීට අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කල අතර ඉන් අනතුරුව ජාතික සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් නියෝජනය කරමින් සහ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මේ වන විට පෙත්සම් ගොනු කර තිබෙනවා.

මේ අතර අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වී වසර 12 ක සිර දඩුවම් නියම වී සිටින රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ඇප මත මුදාහරින ලෙසට කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරනය අද (19) නියෝග කළා.

අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමට යටත්ව තමා ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා මෙම ඇප ඉල්ලීම සිදු කර තිබුණා.

විත්තිකරු ඇප මත මුදාහැරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බවට ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවධාරණය කරන ලදි.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සූත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට ඉන්දියානු සමාගමකින් රුපියල් කෝටි 54ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගැනීමේ චෝදනාවට ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය පසුගිය දෙසැම්බර් මස 19 දා වරදකරුවන් බවට මහාධිකරණය තීන්දු කරන ලදි.

දැනට සිර දඩුවම් නියම වී ඇති ආචාර්ය කුසුම්දාස මහානාමගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ජූනි මස 02 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

(Neth)