Monday, July 07, 2025
Follow Us
කොරෝනා ආසාදිතයින් වැඩිවෙන්නේ මෙහෙමයි - GMOA අනතුරු අඟවයි

සමාජ දුරස්ථකරණයක් සිදුනොවන අවස්ථාවක නිදහසේ සැරිසරන එක් පුද්ගලයෙකුගෙන් දින 30 ක් තුළ අඩුම තරමේ 500 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ 50% ක සමාජ දුරස්ථකරණයකින් එම ප්‍රමාණය 15 ක් දක්වා අඩුකරගත හැකි බවයි.

70%ක දුරස්ථකරණයකින් මෙය 2.5%ක් දක්වා අඩුකර ගැනීමට හැකි බව ද එම සංගමය සඳහන් කරයි.

මාර්තු 16 වැනිදා සිට 19 වැනිදා දක්වා ගුවන් තොටුපොළ වසා දැමීම, පාසැල් නිවාඩුදීම හා නිවාඩු කාලසීමාවක් ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් 50% ක දුරස්ථකරණයක් සිදුවූ බව සැළකිය හැකියැයි ද හරිත අලුත්ගේ මහතා පවසයි.

"අපිට දැන් රෝගීන් 102 ක් වාර්තා වෙලා තියෙන්නේ ඒකෙන් 32 ක් ඇවිල්ලා තියෙන්නේ කෙළින්ම නිරෝධායන මධ්‍යස්ථානවලින්. ඒ පිරිස අයින් කළහම 70ක් සමාජයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ 70 , 8න් වැඩි කළොත් 560ක් උත්තරේ. මේ වෙද්දී ඉන්න ලෙඩ්ඩු ගාණ ගත්තහම 70 කියලා ගත්තට සමාජයෙන් හමුවුණ ගාන 500කට එහා ලෙඩ්ඩු සමාජයේ ගැවසෙන්න පුළුවන්. ඒක ඉතාම බරපතල තත්ත්වයක්. ඒ කන්ටැක්ට් ටික වෙන් කර තබා ගැනීම සාර්ථක වුණොත් තමයි අපේ සටන ජයගන්න පුළුවන් වෙන්නේ. එතැනදී බලධාරීන්ටත් වගකීමක් තියනවා. ජනතාවටත් වගකීමක් තියනවා. ඒ ක්‍රමවේදයට අනුගතවෙන්න පුළුවන් වුණොත් අප්‍රේල 07වැනිදා වනවිට එන්න නියමිත අධිවසංගත තත්ත්වයක් වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්."

මාර්තු 11 වැනිදා පළමු ශ්‍රී ලාංකික රෝගියා වාර්තා වූ අතර මාර්තු 15 වැනිදා දක්වා රට තුළ රෝගීන්ගේ සම්පූර්ණ සංචරණයක් සිදුවූ බව සැළකිය හැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

මාර්තු 20 වැනිදා සිට රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් එම දුරස්ථකරණය සියයට 70 ක් දක්වා ළගාවූ බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් එම දුරස්ථ කරණය දැඩි ලෙස බිඳ වැටෙන බවද ඔවුන් පවසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ රට තුළ රෝගය ව්‍යාප්ත වීමේ අදියර හතරක් පවතින බවයි.

"රට තුළ රෝගය ව්‍යාප්තවීමේ අදියර 4 ක් තියෙනවා. දැනට අපි ඉන්නේ ඉතා කුඩා කණ්ඩායම් හරහා රෝගය ව්‍යාප්තවන ස්වභාවයක. ඒ කියන්නේ තුන්වන අදියරේ. තුන්වන අදියරේත් කණ්ඩායම් දෙකක් තියනවා. ගෙවල් ඇතුලේ ව්‍යාප්ත වන තත්ත්වයක් හා ඉන් ඉදිරියට ගොස් ගමට හා සමාජයට රෝගය යන තත්ත්වයක්. මෙතනින් රෝගය පැතිරයාම වළක්වා ගැනීම සදහා උග්‍ර ප්‍රතිචාර දැක්වීම අත්‍යාවශ්‍යයි. ලෙඩේ මේ විදිහටම යන්න දීලා බලාගෙන හිටියොත් එහෙම, රෝගීන් 100, 200 වාර්තා වෙන්න ගත්ත දවසට, සමස්ත රෝගීන් ගණන 1000, 1500, 2000 වුණ දවසට අපේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා. රෝගීන් අපේ ඇස් ඉදිරිපිට මැරෙන්න දීලා බලාගෙන ඉන්න තත්ත්වයට එනවා. ඒ නිසා අපි කියන්නේ තත්ත්වය බැරෑරුම් විදිහට ගන්න. රජය මොන හොද තීරණ ගත්තත්, ඒවත් එක්ක මහජනතාව අනුගත වෙන්නේ නැත්නම්, පාරට බහින්න එපා කිව්වම පාරට බහිනවනම්, ගෙවල් වල හැසිරෙන්න ඕනේ විදිහ කිව්වම ඒ විසිහට හැසිරෙන්නේ නැත්නම්, මේ රෝගයේ උච්චතම අවස්ථාව අපිට එළැඹෙන සති දෙක ඇතුළත ළඟා කරගන්න පුළුවන් කියන අනතුරු ඇගවීම අපි කරනවා.

එහෙයින් ලබා දී ඇති උපදෙස් පිළිපැදීම ජනතාව මේ මොහොතේ අනිවාර්යයෙන් කළ යුතු දෙයක් බවයි රජයේ වෛද්‍ය නොලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

(LNW)