මෝඩයන්ට රට භාර දී ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු විය නොහැකි බව හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පෙන්වා දෙයි.
රට සශ්‍රික කළ හැක්කේ රට වෙනස් කරන වැඩපිළිවෙලකට අවතීර්ණ වුවහොත් පමණක් බව විජේසිංහ මහතා සඳහන් කරයි.
රාජ්‍ය ආදායමට වඩා රාජ්‍ය වියදම වැඩිවෙමින් තිබෙන අතර ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ මුදල් කළමනාකරණයේ දුර්වලතාව බව හෙතෙම කියා සිටියි.
ඒ අනුව ආකාර්යක්ෂම ආයතනය වන්නේ මුදල් අමාත්‍යාංශය බව හිටපු විගණකාධිපතිවරයා පවසයි.
වසරක් පාසා රාජ්‍ය ආදායම සහ වියදම අතර පරතරය වැඩි වෙමින් පවතින අතර එවැනි තත්ත්වයකදීත් අයවැය මනිගින් ට්‍රිලියන 2ක ණයක් ලබා ගන්නා බව කීමට තරම් දීන වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
"හොඳම උදාහරණය රාජගිරිය ගුවන් පාලම. මට මතක හැටියට බිලියන හතරයි ගාණක්. එකම දෙයයි තියෙන්නේ ඉස්සර අපි බිමින් ගියා දැන් අපි උඩින් ඒ ට්‍රැෆික් එකේම. මොකක්ද මේකේ තියෙන ලාභය කියන කාරණය බලන්න ඕනේ. ඒ වගේ වියදමක් කරන්න පුළුවන් තැනකද අපේ රට තියෙන්නේ කියන එක බලන්න ඕනේ. රාජ්‍ය ආදායමට වඩා මේ ආකාරයට වියදම වැඩිවෙමින් තියෙනවා. වියදම වැඩිවෙන්න හේතුව රටේ මුදල් කළමනාකරණයේ තිබෙන දුර්වලතාව. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂම ආයතන මොකක්ද කියල මගෙන් ඇහුවොත් එහෙම මට කියන්න තියෙන්නේ මුදල් අමාත්‍යාංශය කියලා. අනිත් ඒවා ක්‍රමානුකුලව පෙළගස්වන්න පුළුවන්. මේ පරතරය අවුරුදු පතා පුළුල් වෙමින් තිබෙනවා. එහෙම තියෙද්දී අයවැයෙන් මෙවරත් කියනවා ට්‍රිලියන 2ක් ණය ගන්නවා කියල. එහෙම කියන්න තරම් අපි අද දීන වෙලා තියෙනවා."
නළලේ තබාගත් උපැස් යුවලක් නිවස පුරාම හොයනවා වගේ වැඩක්
මේ වන විට රජය කරමින් සිටින්නේ නළලේ තබාගත් උපැස් යුවලක් නිවසේ හැමතැනම හොයනවා වගේ ආර්ථිකය සංවර්ධන ගැන ලෝකේ පුරා ගොස් සෙවීම බව ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරයි.
"නළලේ තබාගත් උපැස් යුවලක් නිවසේ හැමතැනම හොයන මිනිස්සු දැකලා ඇති. රටේ ආර්ථිකයත් එවැනි දෙකට මුහුණ දීලා තියෙන්නේ. ආර්ථිකය සංවර්ධනය කිරීම ගැන ක්‍රමවේදය අපි අතළඟ තියෙනවා. හැබැයි ඒක හොයාගන්නේ නැහැ. හතර වටේ ගිහින් මේක හොයනවා."
මගේ අත්දැකීම් එක්ක මට හිතෙන්නේ ඔපමට්ටම් කළ වටිනා මැණික් ගලක් මඩගොහොරුවක දාලා තියෙනවා වගේ. චුට්ටක් මේක පිහදාලා ෂෝ රූම් එකේ තියන්න පුළුවන්. බිලියන් ගාණක් වටිනවා.
ශ්‍රී ලංකාව පසුවන්නේ මෙවන් තැනක බව ඔහු පෙන්වාදෙයි.
"මේක කවදාවත් වැටෙන්න අවශ්‍යතාවක් නැහැ. අපිට මේක හදන්න පුළුවන්. මේ උපැස් යුවල නළලේ තියාගෙන රට වටේ හොයන ක්‍රමවේදය අද රටේ සංවර්ධනය සඳහා බරපතල ගැටළු ඇතිකරලා තියෙන්නේ. මේක කිව්වට අහන්න කෙනෙක් නැහැ. දඟලන්න කෙනෙක් නැහැ.
මම මගේ පශ්චාත් උපාධිය කළේ කොරියන් ආර්ථික විද්‍යාව ගැන. කොරියාවේ ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් මට දවස් දෙකක් වුනත් කතාකරන්න පුලුවන් . ඒ දවස් දෙක කතා කරලා මට කියන්න පුළුවන් අපේ ආර්ථිකය කොරියාවේ මට්ටමට ගෙනෙන්න අවුරුදු පහක ඇතුළත මොනවද කරන්න ඕනේ කියලා.
ලංකාව සම්පත්වලින් පිරුණු රටක්. මේකේ තරම් සම්පත් ලෝකේ කොහෙවත් තියෙනවා කියල මම විශ්වාස කරන්නේ නැහැ. එච්චරටම සම්පත් තියෙන රටක්.
අපි කතාවට කියනවා බල්ලෙකුට මඤ්ඤොක්කා අලයකින් දමලා ගැහුවොත් එහෙම බල්ලා දුවනවා මඤ්ඤොක්කා අලය වැටිච්ච තැන පළවෙනවා හෙට අල බහිනවා. ඒ වගේ තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. දවස හතක් කාපට් පාරක වාහනයක් නොගියොත් එහෙම අටවෙනි දවසේ පාරේ තණකොළ පැලවෙනවා. එච්චර රටක කන්න නැත්නම් අදායම නෑ කියලා කියනවා නම් කෘෂිකර්මය කඩා වැටිලා තියෙනව නම් මොකක්ද මේ ප්‍රශ්නය කියන එක නැවත සිතා බලන්න අවශ්‍යයි."
එහෙයින් මෙම තත්ත්වය ගැන විද්වතුන් නැවත සිතා බැලිය යුතු අතර මෝඩයන්ට භාර දීමෙන් මෙම ප්‍රශ්න විසඳා ගත නොහැකි බවයි හිටපු විගණකාධිපතිවරයා අවධාරණය කරන්නේ.
(LNW)