Friday, July 24, 2026
Follow Us
දිට්වා ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ වතු පාසල් ප්‍රතිසංස්කරණය කඩිනම් කිරීමට උපදෙස්

දිට්වා ආපදාව හේතුවෙන් සම්පූර්ණ හානියට පත් වතු පාසල් ගොඩනැඟීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ඒ සඳහා අයවැය ප්‍රතිපාදන ඔස්සේ මුදල වෙන්වී ඇති බැවින්, භූමිය වෙන්කරවා ගැනීම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිර්ණායක මත භූමියේ යෝග්‍යතාවය අනුමත කර ගැනීම, ගොඩනැඟිලි සැලසුම් සෑදීම සහ තක්සේරුකරණය වැනි කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ වතු පාසල් සංවර්ධනය කිරීම සඳහා ඊයේ (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, වතු ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි පාසල්වල ඉඩම් අයිතිය, එම ඉඩම්වල යෝග්‍යතාවය සහ දිට්වා ආපදාවෙන් හානියට පත් වතු පාසල් යළි ගොඩනැගීමට අදාළ කටයුතු කාර්යක්ෂම කිරීම සම්බන්ධව වැඩි අවධානයක් යොමුවිය.

එසේම වතු ආශ්‍රිත ප්‍රදේශවල පවතින ගුරු හිඟය තුලනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග, විභාග කටයුතු වලදී ඌණ ප්‍රගතියක් පෙන්වා ඇති වතු පාසල් හඳුනාගනිමින් ඒවා නගා සිටුවීමට අදාළ සැලසුම් සකස් කිරීම මෙන්ම, අන්තර්කරණ අධ්‍යාපනය (Inclusive Education) හරහා වතු පාසල් තුළ අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරීම වැනි කරුණු සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දිට්වා ආපදාවෙන් සම්පූර්ණ හා අර්ධ වශයෙන් හානියට පත් පාසල් යළි ගොඩනැගීම සඳහා අවශ්‍ය වන තොරතුරු ලබාගැනීමට සහ කටයුතු මෙහෙයවීමට අදාළව සෑම පළාතක් සඳහාම නිලධාරියෙකු පත් කළ යුතු බවත්, ඒ හරහා පාසල් සංවර්ධන කටයුතු වඩාත් සාර්ථකව සිදු කිරීමට හැකිවන බවත් මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.

තවද මෙම වසර තුළදී සිදුකරන ගුරු බඳවා ගැනීම් ඔස්සේ වතු පාසල්වල ගුරුපුරප්පාඩු පිරවීම සඳහා වැඩි අවධානයක් යොමුකරන බවත්, සමස්ත ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදුකර අවසන් වන තුරු සුහුරු පුවරු (smart board) වැනි තාක්ෂණික උපකරණ භාවිත කරමින් සම්බන්ධිත පන්ති කාමර (linked classroom) ක්‍රමයකට යාහැකි බවත් ඇය අවධාරණය කළාය. එසේම මෙම වසර අවසන් වීමට පෙර සියලු පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදුකර අවසන් කරන බවද ඇය පැවසුවාය.

වතු පාසල්වල විභාග ප්‍රතිඵල ඉහළ නැංවීමට අදාළව අදහස් ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ දිස්ත්‍රික්ක වශයෙන් නොව, එක් එක් පාසල් වශයෙන් ඌණ විභාග ප්‍රතිඵල පෙන්වන පාසල් හඳුනාගෙන, එම පාසල් නගාසිටුවීම සඳහා සැලසුම් සකස් කළ යුතුව පවතින බවයි.

මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.