වනජීවී පශු වෛද්ය නිලධාරීන්ගේ වෘත්තිය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (23) පරිසර අමාත්යංශයේ දී පැවැත්විණි.
මෙහිදී ඔවුන්ගේ ඉල්ලීම්වලින් බහුතර සංඛ්යාවකට විසඳුම් ලබා දීමට හැකි විය.
වසර 10කට අධික කාලයක සිට පවතින ප්රධාන ගැටලු 05ක් මුල් කරගනිමින් වනජීවී පශු වෛද්ය නිලධාරීන් පසුගියදා වෘත්තිය සමිති ක්රියාමාර්ගයක් ද ආරම්භ කළ අතර ඒ පිළිබදව පරිසර අමාත්යාංශය හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, අදාළ අංශ සමග සාකච්ඡා කර විසදුම් කඩිනමින් ලබා දීමට මෙම සාකච්ඡාවේදි අවධානය යොමු විය.
පළමු ශ්රේණියේ තනතුරු පහක් ඇති කිරීම, දින පහක (05)ක නිවාඩු දින වැටුප්, අමතර සේවා කාල දීමනාවක් ලබා ගැනීම, සහයක කාර්ය මණ්ඩලයක් ඇති කිරීම එම වෘත්තිය සමිති ක්රියාමාර්ග තුල පැවැති ඉල්ලිම්වල ඇතුළත්.
එහිදී ඔවුන්ගේ ගැටලු පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර පළමු ශ්රේණියේ තනතුරු 05ක් ඇති කිරීම පිළිබද ඉල්ලීම හැර අනෙක් සියලු ගැටලු සදහා පිළිගත හැකි සාධනීය විසදුම් ලබාදීමට අමාත්යතවරයා ඇතුළු නිලධාරින් එකගතාවය පළකළේය.
වනජීවී පශු වෛද්ය නිලධාරීන්ගේ මව් ආයතනය සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව වන බැවින්, පළමු ශ්රේණියේ තනතුරු 05ක් ඇති කිරීම පිළිබදව අවසන් තීරණය ගත යුත්තේ එම දෙපාර්තමේන්තුව මගින් බව මෙහිදි කරුණු පැහැදිලි කරනු ලැබිණි. ඒ අනුව ඔවුන්ගේ එම ගැටලුව සදහා අදාළ දෙපාර්තමේන්තුව සහ රාජ්ය පරිපාලන අමාත්යංශය සමග සාකච්ඡා කර අවසන් තීරණයකට පැමිණිය හැකි බවට මෙහිදී පශු වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ වෘත්තිය නිලධාරීන් කරුණු පැහැදිලි කළ අතර ඒ සදහා එකගතාවය පළ කෙරිණි.
මෙම අවස්ථාවේදි අදහස් දක්වමින් පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතා පැවසුවේ වත්මන් රජය සෑම අවස්ථාවකදීම පොදු මහජන සුභ සිද්ධිය සහ සියලු සේවකයින්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි.