Saturday, July 18, 2026
Follow Us
2026 ජූලි 17 වන දින කොළඹදී පැවති ලංකා කාන්තා ව්යවසායක මණ්ඩලය (Ceylon Chamber of Women Entrepreneurs - CCWE) සංවිධානය කරන CCWE Fashion Week & International Summit 2026 උළෙලේ සමාරම්භක අවස්ථාවට අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
"Threads of Inclusion – Woven from Every Walk of Life" යන තේමාව යටතේ 2026 ජූලි 16 සිට 19 දක්වා පැවැත්වෙන CCWE Fashion Week & International Summit 2026 මෙම ජාත්යන්තර සමුළුව සහ විලාසිතා දැක්ම, විලාසිතා ක්ෂේත්රය තුළ කාන්තා සහභාගීත්වය, කාන්තා සවිබල ගැන්වීම, ව්යවසායකත්වය සහ සමාජ පරිවර්තනය සඳහා වේදිකාවක් සහ කතිකාවතක් නිර්මාණය කිරීම අරමුණු කර ගෙන සංවිධානය කර ඇත.
දකුණු ආසියාව පුරා සිටින කාන්තා ව්යවසායකයින්, විලාසිතා නිර්මාණ ශිල්පීන්, නිර්මාණකරුවන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවීණයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වන අතර මෙම සමුළුව හරහා නවෝත්පාදනය, නායකත්වය සහ කලාපීය සහයෝගීතාව ප්රවර්ධනය කිරීම මෙන්ම කාන්තාවන් සවිබල ගන්වන ව්යාපාර වැඩිදියුණු කිරීම, නව වෙළෙඳපොළ වෙත ප්රවේශ අවස්ථා වැඩි කිරීම සහ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ශක්තිමත් කිරීමට අවස්ථාව සලසා දෙයි.
උත්සව අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ අග්රාමාත්යතුමිය, විලාසිතා යනු කාන්තාවන්ගේ විවිධත්වය සහ ඔවුන් අනන්යතාව නියෝජනය කරන ප්රබල ප්රකාශන මාධ්යයක් වන බවත්, එමෙන්ම, කාන්තාවන් මත සමාජය විසින් පනවනු ලබන සීමා කිරීම් සහ දැඩි සමාජ අපේක්ෂාවන් ද මෙම විලාසිතා තුළින් පිළිබිඹු වන බැවින්, එය සමාජ සංවාදයට සහ සමාජ පරිවර්තනයට වැදගත් අවකාශයක් නිර්මාණය කරන බව සඳහන් කළා ය.
CCWE Fashion Week & International Summit වැනි වැඩසටහන් මගින් සම්ප්රදායික සීමා අභියෝගයට ලක් කරමින්, කාන්තාවන්ගේ සහභාගීත්වයට දිගු කලක් තිස්සේ බාධාවක් වූ සීමා බිඳ දමා, කාන්තාවන්ගේ හැකියාවන් හඳුනාගැනීමට, ඇගයීම සහ සවිබල ගැන්වීමට අවකාශක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අග්රාමාත්යතුමිය මෙහිදී අවධාරණය කළාය.
කාන්තා සවිබල ගැන්වීම තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්රී ලංකාවේ බොහෝ ක්ෂුද්ර හා කුඩා කර්මාන්ත අංශයේ ප්රධාන බලවේගය වන්නේ ද කාන්තාවන් බව සඳහන් කළා ය.
මෙම අවස්ථාවට ශ්රී ලංකා කාන්තා ව්යවසායක මණ්ඩලයේ සභාපති ආචාර්ය අයන්ති ගුරුසිංහ සහ ව්යාවසායක මණ්ඩලයේ සාමාජිකාවන්, දකුණු ආසියාව පුරා සිටින කාන්තා ව්යවසායකයින්, විලාසිතා නිර්මාණ ශිල්පීන්, වෘත්තිකයන් සහ කර්මාන්ත ක්ෂේත්රයේ ප්රවීණයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.