Saturday, July 18, 2026
Follow Us
කෑගල්ලේ අක්ෂි සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල සිටින 6,590 ක පමණ රෝගීන්ට නැවුම් බලාපොරොත්තුවක්

රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි  වාට්ටු සංකීර්ණය ළුලදායී ලෙස අක්ෂි ප්‍රතිකාර සේවා සඳහා යොදා ගැනීම සම්බන්ධව වු විශේෂ සාකච්ඡාවක්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ අක්ෂි වාට්ටු සංකීර්යේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශවල පවතින ඇසේ සුද ඉවත් කිරීමේ (Cataract) සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනමින් අවසන් කිරීම සඳහා රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි වාට්ටු සංකීර්ණය "විශේෂිත අක්ෂි ශල්‍යකර්ම මධ්‍යස්ථානයක්" (Specialized Cataract Hub) ලෙස පූර්ණ කාලීනව වැඩිදියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙහිදී සිව් මහල් අක්ෂි  වාට්ටු සංකීර්ණයේ දැනට ක්‍රියාකාරිව පවතින ශල්‍යාගාරය ඇතුළු ශල්‍යාගාර සහ වාට්ටු සංකීර්ණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට ද ලක්විය.

දැනට පවතින නිල දත්තවලට අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි රෝගීන් 6,590 ක් වැනි විශාල ප්‍රමාණයක් සැත්කම් සඳහා පොරොත්තු ලේඛනවල පසුවන බවත්, මින් වැඩිම පිරිසක් කෑගල්ල මහ රෝහල (2,400), කරවැනැල්ල මූලික රෝහල (1,950) සහ රඹුක්කන ප්‍රාදේශීය රෝහල (1,700) තුළ ලියාපදිංචි වී සිටින බව ද අක්ෂි ඒකකයේ නිලධාරීන් මෙම සාකච්ඡාවේ දී පෙන්වා දෙන ලදි.

මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රඹුක්කන අක්ෂි ඒකකයේ යටිතල පහසුකම් සහ නවීකරණ කටයුතු සිදු කළ යුතු බව ද,  ශල්‍යාගාර 3 ම උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීම ඇතුළු නවීන ජීව-වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීම,  මෙම මධ්‍යස්ථානය වෙනුවෙන්ම විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු (Medical Consultant), වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඇතුළු විශේෂිත කාර්ය මණ්ඩලයක අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දෙන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කියා සිටියේ මෙරට බෝනොවන රෝග ප්‍රතිකාර සහ රෝග පාලන කටයුතු වෙිගවත් සහ විධිමත් කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩි අවධානයක් යොමුව ඇති බවයි.

එහිදී විවිධ රෝගී තත්ත්වයන් සඳහා වන සෞඛ්‍ය සේවාවේ පොරොත්තු ලේඛන අවම කිරීම පිළිබඳව ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා පැවසීය.

රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ අක්ෂි ප්‍රතිකාර සංකීර්ණයේ ශල්‍යාගාර තුනම සක්‍රියව ප්‍රතිකාර සේවාවට එක් කිරිමට  අවශ්‍ය උපකරණ පළාත් සභාව සහ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය හරහා ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අක්ෂි ප්‍රතිකාර සේවාවේ විශේෂ අවශ්‍යතාවයන් පදනම් කරගනිමින් මානව සම්පත ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් පරිපාලන ව්‍යුහය  සකස් කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි  වාට්ටු සංකීර්ණ ජාතික මට්ටමේ සංවර්ධන ක්‍රියාවලිය හා බද්ධ කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් ජනතාවට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම ව්‍යාපෘතිය සාර්ථකවීම තුළ  කෑගල්ල දිස්ත්‍රික්කයේ පමණක් නොව සමස්ත සබරගමුව පළාතටත්, වයඹ, මධ්‍යම, බස්නාහිර පළාත්වල ජනතාවටත්  ගුණාත්මක සහ කඩිනම් අක්ෂි ප්‍රතිකාර සේවාවන් සලසා ගැනීමට අවස්ථාව හිමිවේ.

සබරගමුව පළාත් සභා අරමුදල හා සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ප්‍රතිපාදන මත රුපියල් මිලියන 176.5 ක වියදමින් 2016 වසරේ ඉදිකිරීම් ආරමිභ කරන ලද රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි  වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල 2024 වසරේ ජනවාරි මස 09 වෙනි දින ප්‍රතිකාර සේවා සඳහා ජනතා අයිතියට පත් කර ඇත.

ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කළ ද එහි උපරිම ධාරිතාවයෙන් සේවා සැපයීමේ දුෂ්කරතා ඇතිවී තිබේ. ශල්‍යාගාර තුනක් පැවතිය ද මේ වන තෙක් එහි එක් ශල්‍යාගාරයක පමණක් අක්ෂි සැත්කම් සිදු කරනු ලබයි. මසකට සැත්කම් සියයකටත් අඩු ප්‍රමාණයක සිදුකරන මෙම රෝහළ කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි සැත්කම් මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කර ඒ සඳහා අවශ්‍ය කාර්යමණ්ඩල අනුයුක්ත කර උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමට  එමගින් අක්ෂි කාච පොරොත්තු ලේඛනයේ සිටින පිරිස අඩුකිරීමටත් අපේක්ෂා කරයි.

සිව් මහල් අක්ෂි  වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල එකවර රෝගීන් 66 දෙනෙකුට නේවාසිකව ප්‍රතිකාර ලැබිය හැකි පරිදි සියලු පහසුකම් සහිත වාට්ටු සංකීර්ණ 2 කින් ද යුක්තය. බාහිර රෝගී අක්ෂි පරීක්ෂණ සහ විශේෂිත අක්ෂි සත්කාර සේවා සඳහා වෙන්වූ සායන සංකීර්ණයකින් ද මෙය සමන්විත වේ.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර, දිස්ත්‍රික් සෞඛ්‍ය   අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර, කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ, රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ  වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, ඇතුළු කාර්ය මණ්ඩල එක්ව සිටියහ.