Wednesday, July 01, 2026
Follow Us
 ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දීමට පියවර

රාජ්‍ය ආයතන මගින් ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සැපයීමේදී ප්‍රමුඛතාව ලබා දීම සඳහා විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (30) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් තීරණය කර ඇත.

ඒ අනුව, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මූලික කරගනිමින් මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ ආබාධිතභාවය පිළිබඳ වර්ගීකරණය චක්‍රලේඛයක් ලෙස නිකුත් කිරීමට ද සභාවේ එකඟතාව පළ වී තිබේ.

ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් භාවිත කළ යුතු පාරිභාෂික වචන මාලාව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ප්‍රකාශනයක් ලෙස නිකුත් කිරීමට ද තීරණය කර ඇත.

තවද, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන පුද්ගලයන් ඇගයීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී එකඟතාව පළ වී තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, සමාජ සේවා අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් සහ සභාවේ සාමාජිකයෝ එක්ව සිටියහ.