උතුරු පළාතේ ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම සහ නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වූ සෞඛ්ය සේවාවක් ලබාදීමේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂ ප්රගති සමාලෝචන හා සැලසුම් සාකච්ඡාවක් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර නාගලින්ගම් වේතානායහම් යන මහත්වරුන්ගේ සහාගීත්වයෙන් පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර කර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ ශික්ෂණ රෝහල, දිස්ත්රික් මහ රෝහල්, මූලික රෝහල්, ප්රාදේශීය රෝහල් හා ප්රාථමික සෞඛ්ය සේවා ආයතන මුහුණපාන වත්මන් අභියෝග පිළිබඳ පුළුල් අවධානය යොමු කළ අතර, ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සෞඛ්ය සේවාවක් සැපයීම සඳහා කෙටි, මධ්ය හා දිගුකාලීන සංවර්ධන සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව යන දිස්ත්රික්කවල පිහිටි රෝහල් සදහා විශේෂඥ වෛද්යවරුන්,වෛද්යවරුන්,හෙද සහ අනෙකුත් සෞඛ්ය කාර්ය මණ්ඩලයන්හි පවතින හිඟය කඩිනමින් අවම කරමින් විධිමත්, කාර්යක්ෂම සේවාවක් ජනතාවට ලබාදීම මෙන්ම ප්රාථමික සෞඛ්ය සේවාව තවදුරටත් සවිබල ගැන්වීම පිළිබඳව අවධානය යොමු විය.
එමෙන්ම යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව යන දිස්ත්රික්කවල පිහිටි රෝහල් විධිමත් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කරමින් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ලබාදීම සඳහා සැලසුම් සහගතව ප්රමුඛතා පදනම මත සෞඛ්ය පහසුකම් සංවර්ධනය කිරීම සහ ප්රතිසංස්කරණය කිරීම, දැනට ක්රියාත්මක ව්යාපෘති මෙන්ම ඉදිරි ව්යාපෘති සහ වැඩසටහන්වල තිරසාරභාවය සහතික කිරීම, සෞඛ්ය සේවාවේ ජාතික සහ පළාත් ඉලක්ක සපුරා ගැනීම සඳහා සෞඛ්ය අංශයේ සියලුම පාර්ශවයන් සම්බන්ධීකරණය කිරීම සහ පහසුකම් සැලසීම, අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීම, පළාතේ සෞඛ්ය අංශය සඳහා වඩා හොඳ මූල්ය කළමනාකරණයක් සහතික කිරීම, සියලුම ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂවරුන් සමඟ දිස්ත්රික්ක අතර සෞඛ්ය කටයුතු මනා ලෙස සම්බන්ධීකරණය කිරීම, ඩෙංගු, මැලේරියාව, ක්ෂය රෝගය, ලිංගිකව සම්ප්රේෂණය වන රෝග (STD) සහ ජලභීතිකා රෝගය වැනි බෝවන රෝග වැළැක්වීමේ වැඩසටහන් විධිමත් කිරීම, සායනික පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම සහ නිත්ය කාර්ය මණ්ඩල පුහුණුව සහතික කිරීම ආදී කරුණු රාශියක් පිළිබඳව අවධානය යොමු කරමින් මෙහි දී දීර්ඝව සාකච්ඡා සිදු කරන ලදී.
උතුරු පළාතේ දූපත් ප්රදේශ ඇතුළු දුරස්ථ හා සේවා ලබාදීමට අපහසු ප්රදේශවල ජනතාවට සෞඛ්ය සේවාවන් වඩාත් පහසුවෙන් ළඟා කරදීම සඳහා ගත යුතු ක්රියාමාර්ග, රෝගීන්ගේ යොමුකිරීමේ ක්රමවේද කාර්යක්ෂම කිරීම සහ ප්රතිකාර සඳහා ගතවන කාලය අවම කිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමුකර සාකච්ජා කෙරිණි.
මෙම සාකච්ඡාවේදී හඳුනාගත් ප්රමුඛ අවශ්යතා සඳහා කඩිනම් ක්රියාකාරී සැලැස්මක් සකස් කර එහි ප්රගතිය නිරන්තරයෙන් සමාලෝචනය කිරීමට ද, උතුරු පළාතේ ජනතාවට වඩාත් උසස්, නවීන හා කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ලබාදීම සඳහා නව පරිච්ඡේදයකට මඟ පාදමින් මධ්යම රජය සහ උතුරු පළාත් සෞඛ්ය බලධාරීන් අතර සමීප සම්බන්ධීකරණයකින්, ඒකාබද්ධතාවයකින් යුතුව ඉදිරි වැඩසටහන් හා නව සැලසුම් තවත් පුළුල් නව්යකරණයට ලක්කරමින් ක්රියාත්මක කිරීමට ද විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ රටේ සෑම පුරවැසියෙකුටම ඔවුන් ජීවත් වන භූගෝලීය ප්රදේශය කුමක් වුවද සමාන, ගුණාත්මක සෞඛ්ය සේවාවක් ලබාදීම රජයේ වගකීම බවයි. ඒ අනුව උතුරු පළාතේ සෞඛ්ය සේවා පද්ධතියේ පවතින අවශ්යතා හඳුනාගෙන ඒවාට කඩිනම් හා තිරසාර විසඳුම් ලබාදීම සඳහා සෞඛ්ය අමාත්යාංශය සියලු පාර්ශ්ව සමඟ ඒකාබද්ධව සැලසුමක් සහිතව ක්රියාකරන බවද අමාත්යවරයා මෙහිදී අවධාරණය කළේය.
අඛණ්ඩ, ගුණාත්මක හා විශ්වාසනීය සෞඛ්ය සේවාවක් මෙම පළාතේ ජනතාවට ලබාදීම සඳහා මානව සම්පත් හිඟය කඩිනමින් අවම කිරීම අත්යවශ්ය බව පෙන්වා දුන් අමාත්යවරයා මේවන විට ඇති පුරප්පාඩු ක්රමානුකූලව පියවමින්, උතුරු පළාතේ සෞඛ්ය සේවාව රටේ අනෙකුත් ප්රදේශවලට සමාන මට්ටමකට ඔසවා තැබීම උතුරු පළාත් සභාවේ සහ සෞඛ්ය අමාත්යාංශයේ වගකීමක් බවද ප්රකාශ කළේය. එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා බඳවා ගැනීම්, ස්ථානගත කිරීම් සහ මානව සම්පත් කළමනාකරණය වේගවත් කරමින් කඩිනම් වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බවද අමාත්යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.
අමාත්යවරයා පැවැති ගැටලු රැසක් මෙහි දී නිරාකරණය කිරීමට පියවර ගත් අතර, සෞඛ්ය සේවා ශක්තිමත් කිරීම සඳහා ගතයුතු ඉදිරි සැලසුම් හා ක්රියාමාර්ග පිළිබදව පළාත් බලධාරීන්ට උපදෙස් ලබාදීමට ද කටයුතු කළේය.
උතුරු පළාත තුළ එක් ශික්ෂණ රෝහලක්, දිස්ත්රික් මහ රෝහල් 04 ක්, මූලික රෝහල් 10 ක්, දිසා රෝහල් 55 ක්, ප්රාදේශීය රෝහල් 48 ක්, සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාල 33 ක් ස්ථාපිත කර ඇති අතර, පළාත තුළ වෙසෙන දොළොස් ලක්ෂයකට ආසන්න ජනතාවකට මෙම සෞඛ්ය ආයතනවලින් සුව සත්කාර හා ප්රතිකාර සේවා සපයනු ලබයි.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් සාලින්ද බණ්ඩාර, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය එස්. ශ්රීධරන්, උතුරු පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සමන් පතිරණ, යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්ය ටී.සත්යමූර්ති, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව දිස්ත්රික් මහ රෝහල් අධ්යක්ෂවරුන්, යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂවරුන්, වෛද්ය අධිකාරීවරුන්, වෛද්ය නිලධාරින් ඇතුළු සෞඛ්ය බලධාරීන් රැසක් ද එක්ව සිටියහ.