පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් විවිධ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන, අධිකරණ නඩු කටයුතු අවසන් වූ විශාල විෂ මත්ද්‍රව්‍ය තොගයක් අද (27) උදෑසන පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී නිල වශයෙන් දහනය කර විනාශ කළ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය මෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබූ, දිවයිනේ විවිධ අධිකරණ මඟින් විනාශ කිරීමට නියෝග කරන ලද මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විශේෂ දහන උදුනකදී (Incinerator) විනාශ කර ඇත.
අද දින මෙලෙස විනාශ කරන ලද විෂ මත්ද්‍රව්‍ය තොගයේ විස්තර පහත පරිදි වේ:
-
අයිස් මත්ද්‍රව්‍ය (ICE): කිලෝග්‍රෑම් 14 යි ග්‍රෑම් 97
-
කුෂ් (Kush): කිලෝග්‍රෑම් 39 යි ග්‍රෑම් 710
-
හෙරොයින් (Heroin): කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 02
-
ගංජා සහ හෂීස්: කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 139
-
මැන්ඩි (Mandi): කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 200
-
කොකේන් (Cocaine): කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 30
-
මත්පෙති (Ecstasy / Psychoactive Pills): පෙති 26,262 ක්
මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීමේ කටයුතු මීගමුව ගරු අතිරේක මහේස්ත්‍රාත්වරිය, රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රස පරීක්ෂක, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ යන නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය හා නිරීක්ෂණය යටතේ අතිශය විනිවිදභාවයකින් යුතුව සිදු කළ බවයි පොලීසිය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ.