Monday, June 22, 2026
Follow Us
අනුරාධපුරයේ උපාධි අපෙක්ෂාවකගෙන් ගමක් සංවර්ධනයට ආදර්ශවත් පියවරක්
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ පිළිබඳ ශාස්ත්රවේදී උපාධියේ අවසන් වසරෙහි ඉගෙනුම ලබන නොච්චියාගම ප්රදේශයේ පදිංචි ප්රමෝද්යා සන්දිපනී ශිෂ්යාව විසින් තම අවසන් ක්ෂේත්ර ප්රජා වැඩසටහනට ඉහළ සංවර්ධනාත්මක බවකින් යුත් ව්යාපෘතියක් තෝරාගෙන තිබේ.
තලාව , නඹඩවැව ග්රාමයේ පවුල් 21ක් යොදාගෙන දහස්පතියා වගාව ව්යාප්ත කිරීම එම ව්යාපෘතිය යි. මේ වන විට එම පවුල් 21 ම දහස්පතියා මල් වගාවේ නිරතව එහි ඵලදාව නෙලමින් සිටී.
“දහස්පෙතියා මල් වගාව, අගය එකතු කළ නිෂ්පාදන සංවර්ධනය සහ වෙළඳපොළ සංවර්ධනය” යන තේමාව යටතේ ක්රියාත්මක වන මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වන්නේ ආදායම් අස්ථාවරත්වය, වෙළඳපොළ සම්බන්ධතා හිඟය සහ නවීන තාක්ෂණික දැනුම අවම වීම හේතුවෙන් ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන ග්රාමීය කාන්තාවන් සඳහා ස්ථාවර ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම යි.
උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්යක්ෂක කාර්යාලයේ මූල්ය හා තාක්ෂණික සහාය යටතේ මෙම ව්යාපෘතිය ක්රියාත්මක වන අතර, වැඩබලන පළාත් කෘෂිකර්ම අධ්යක්ෂක ගයනි රත්නායක මහත්මියගේ සහ නියෝජ්ය කෘෂිකර්ම අධ්යක්ෂක අනුර වෙල්ගම මහතාගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන මේ වනවිට සාර්ථකව ක්රියාත්මක වෙමින් පවතී. විෂය භාර නිලධාරිනී ශෂි ප්රභා මහත්මිය සහ තලාව කෘෂිකර්ම කාර්යාලයේ කෘෂිකර්ම උපදේශකතුමිය ද මේ සඳහා සක්රීය දායකත්වය සපයති.
අනුරාධපුර පූජා නගරයට ආසන්නව පිහිටි නබඩවැව ගම්මානය තුළ දහස්පෙතියා මල් සඳහා පවතින ඉහළ ඉල්ලුම ආර්ථික අවස්ථාවක් බවට පත්කර ගනිමින්, නබඩවැව කාන්තා ගොවි සමිතිය ශක්තිමත් කිරීම, වගා පුහුණු වැඩසටහන් පැවැත්වීම, ආදර්ශ වගා බිම් ස්ථාපනය කිරීම සහ වගාව සඳහා අවශ්ය පැළ, පොහොර හා උපකරණ නොමිලේ ලබාදීම සඳහා පියවර ගෙන ඇත.
එමෙන්ම, ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් අනුරාධපුරයේ විහාරස්ථාන සහ දේශීය වෙළඳපොළ සමඟ සෘජු වෙළඳ සම්බන්ධතා ගොඩනැගීමට ද සැලසුම් කර තිබේ. මල් අලෙවියට පමණක් සීමා නොවී, දහස්පෙතියා මල් ආශ්රිත හර්බල් තේ, හර්බල් ෂැම්පු, ෆේස් වොෂ් සහ සම ආරක්ෂණ ක්රීම් වැනි අගය එකතු කළ නිෂ්පාදන සඳහා විශේෂ පුහුණුවක් ද ගම්මානයේ කාන්තාවන්ට ලබාදීමට නියමිත ය.මෙම නිෂ්පාදන ක්රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්ය නවීන විජලන (Drying) යන්ත්රයක් ද නබඩවැව ගම්මානයට පරිත්යාග කර ඇති අතර, එමඟින් ගුණාත්මක නිෂ්පාදන පෙළක් නිර්මාණය කර දේශීය මෙන්ම අනාගත අපනයන වෙළඳපොළ ද ඉලක්ක කර ගැනීමට අපේක්ෂා කෙරේ.

සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය හා කැපවීම මත ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය හරහා, නබඩවැව ගම්මානය ප්රජා මූලික කෘෂිකාර්මික ව්යවසායකත්වයේ ආදර්ශවත් ගම්මානයක් බවට පත්වනු ඇතැයි මෙම ව්යාපෘතිය ආරම්භ කළ ප්රමෝද්යා සන්දිපනී ශිෂ්යාවගේ අදහසයි.