Monday, June 22, 2026
Follow Us
මහල් නිවාස නවීකරණය කෙරෙන metro uplift ව්‍යාපෘතියේ තවත් අදියරක් ඇරඹෙයි
කොළඹ නාගරික ප්රදේශවල අඩු ආදායම්ලාභී ජනතාව පදිංචිව සිටින මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇත.

 

ඒ අනුව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශයේ මෙහෙයවීමෙන්, නාගරික සංවර්ධන අධිකාරිය මගින් metro uplift වැඩසටහන මහල් නිවාස සංකීර්ණ නවීකරණ කටයුතු සඳහා මේ වනවිට ක්රියාත්මක කරමින් පවතී.
කොළඹ 09, දෙමටගොඩ, මිහිදුසෙන්පුර සහ සියපත් සෙවණ නිවාස සංකීර්ණවල ක්රියාත්මක metro uplift ව්යාපෘති ආරම්භය සහ මහල් නිවාස සංකීර්ණයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතා පසුගිය දින (20) ක්ෂේත්ර පරික්ෂාවකට එක්විය.
එහිදී එම නිවාස සංකීර්ණවල ප්රතිසංස්කරණය කිරීම අවශ්යවන ස්ථාන නිරීක්ෂණයට ලක් කෙරිණ. ගිනි නිවන පද්ධති, ගිලා බැස ඇති පදික වේදිකා, මෑන් හෝල්, ජලපවාහන පද්ධති, කාණු පද්ධති, පොදු ප්රදේශවල විදුලි ආලෝකය, කසල බැහැරකිරීම, මායිම් තාප්ප, ආරක්ෂිත කැමරා පද්ධති, පොලිස් මුරපොල ඇතුළු ජනතාවට අත්යවශ්ය පහසුකම් නවීකරණය සඳහා නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණ.
2013 වසරේ ආරම්භ කරන ලද දෙමටගොඩ "මිහිඳු සෙන්පුර" නිවාස සංකීර්ණය පර්යන්ත 6කින් සහ නිවාස ඒකක 820කින් සමන්විත වේ. metro uplift ව්යාපෘතිය මගින් මෙහි නවීකරණ කටයුතු සිදුකරන අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 249ක් වැය කෙරේ.
2018 වසරේ ජනතා අයිතියට පත්කරන ලද දෙමටගොඩ "සියපත් සෙවණ" නිවාස සංකීර්ණය පර්යන්ත්ර 03කින් හා නිවාස ඒකක 702කින් සමන්විත වේ. රුපියල් ලක්ෂ 66.8ක් වැයකර metro uplift ව්යාපෘතියෙන් සියපත් සෙවණ නිවාස සංකීර්ණය නවීකරණය සිදුකෙරේ. මීට අමතරව මහල් නිවාස දෙකෙහිම මලාපවාහන පද්ධතිය අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ 203ක මුදලක් වැයකිරීමට නියමිතය.