නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන එක් අංගයක් වී ඇත්තේ පාසල් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඩිජිටල් උපාංග වලින් සවිබලගැන්වීම ඔස්සේ තාක්ෂණයට හුරුපුරුද්දක් දක්වන තරුණ පරම්පරාවක් බිහි කිරීම වන බවත්, එම ක්‍රියාවලිය ඩිජිටල්කරණය හා සම්බන්ධ ශිෂ්‍ය ආරක්ෂණ නිර්ණායක හා ප්‍රතිපත්ති මත පදනම්ව සිදු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතරතුරදී ව/ඉබ්බාගමුව කිරිබමුණ විද්‍යාලයේදී අද (05) පැවති අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ද්විතීක පාසල් සඳහා ලබාදුන් සුහුරු පුවරු (smart boards) සිසු අයිතියට පත් කිරීමේ ජාතික උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමිත්‍යතුමිය මේ බව පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඩිජිටල් කාර්යසාධක බලකායේ මඟපෙන්වීම යටතේ දිවයින පුරා ඇති සුහුරු පුවරු (smart board) නොමැති ද්විතීක පාසල් හඳුනාගනිමින් එම පාසල් සඳහා සුහුරු පුවරු උපකරණ ලබාදීම උදෙසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.
ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මඟින් වෙන්කළ රුපියල් බිලියන 1.6 ක ප්‍රතිපාදන ඔස්සේ රට පුරා ද්විතීක පාසල් 2890 කට මෙම ව්‍යාපෘතිය ඔස්සේ සුහුරු පුවරු (smart board) ලබාදීම සිදුකර ඇත.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ව්‍යාපෘතිය යටතේ පාසල් 1000කුත්, චීන ජනරජයේ ප්‍රදාන යටතේ පාසල් 500කුත් වශයෙන් සමස්ත පාසල් 4390 කට මේ වන විට සුහුරු පුවරු (smart board) ලබාදී හමාරය.
මෙහිදී එම ව්‍යාපෘතිය යටතේ ඉබ්බාගමුව කිරිබමුණ විද්‍යාලයට හිමි වූ සුහුරු පුවරු පන්ති කාමරය (Smart Board classroom) සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
අනතුරුව අග්‍රාමාත්‍යතුමිය එම සුහුරු පුවරුව භාවිත කරමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී සිසුන් ලබන අත්දැකීම ද නිරීක්ෂණය කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පවසා සිටියාය.
අද විශේෂ දිනයක්. කාලයක් තිස්සේ කළ ක්‍රියාවලියක යම් විජයග්‍රහණයක් ලබාගත් මොහොතක් තමයි මෙම සුහුරු පුවරු (smart board) ලබාදීම ඔස්සේ සිදුවන්නෙ. අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමස්ත අධ්‍යාපනයේ ඇති පුළුල් පරාසයම ආවරණය වන පරිදි නිර්මාණය වූ දෙයක්. එමනිසා ලොකු පාසල, පොඩි පාසල කියා භේදයකින් තොරව සියලු සිසුන්ට සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙමින් යන ගමනේ එක කොටසක් තමයි මේ ඩිජිටල් අධ්‍යාපනය කියන්නෙ.
ඒ අනුව අද වන විට ශ්‍රී ලංකාවේ පවතින ද්විතීක ශ්‍රේණි සහිත පාසල් 6215 ක් අතරින් පාසල් 6084 කටම මේ වන විට සුහුරු පුවරු පහසුකම තියෙනවා. ඒ වගේම මෙම වසර අවසානය වන විට එම පාසල් සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සහ අධ්‍යාපන පරිපාලන කටයුතු සඳහාද අවශ්‍ය වන ඩිජිටල් උපකරණ ලබාදීමටත් අප වැඩකරමින් ඉන්නවා.
එසේම අධ්‍යාපන පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීම සඳහාත් ඩිජිටල් පද්ධතියක් අප හඳුන්වාදීමට කටයුතු කරනවා. අධ්‍යාපන ක්‍රියාවලියට අයත් සම්පත් කළමනාකරණ කටයුතු ඒ හරහා සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.
අධ්‍යාපනය කියන්නෙ පොත පතට හා විභාග ප්‍රතිඵල මත පමණක් තීරණය වන දෙයක් නෙමෙයි. පාසලක සාර්ථකත්වය මනින්න ගොඩක් නිර්ණායක තියෙනවා. දරුවන්ගෙ පිබිදීම, දරුවන් සහ ගුරුවරු අතර තියෙන ගෞරවය, දරුවන්ගෙ මුහුණුවල ඒ තියෙන සතුට තමයි හොඳම නිර්ණායක වන්නෙ.පාසල කියන්නෙ දරුවකුගේ පවුලට සමාන විය යුතු තැනක්. එමනිසා දරුවන්ට පාසල තුළ සුරක්ෂිතතාව සහ ආදරණීය බැඳීම ඇතිකිරීම සඳහා අපගේ අවධානය යොමුකළ යුතුයි.
එමෙන්ම මෙහිදී ලෝක පරිසර දිනය නිමිත්තෙන් අදහස් පළකර සිටි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ පරිසර හිතකාමී මාර්ගයක් ඔස්සේ සංවර්ධනයක් කරා රට රැගෙන යාම අපගේ ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් වී ඇති බවයි. එසේම තරුණ පරපුරට ඒ සඳහා සිදුකළ හැකි දායකත්වය අතිවිශාල බවද අග්‍රාමිත්‍යතුමිය ප්‍රකාශ කර සිටියාය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව යන මහත්ම මහත්මීන් ඇතුළු වයඹ පළාත් දේශපාලන සහ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.