වර්තමාන රජයේ ජාතික ප්රතිපත්තිය අනුව “නිර්බාධිත පරිසරයක් - අන්තර්කරණය වූ සමාජයක්” නිර්මාණය කිරීම උදෙසා, ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය, සේවා සහ පහසුකම් සැලසීම වෙනුවෙන් 2027 වර්ෂයේ දී ක්රියාත්මක කළ යුතු වැඩසටහන් සඳහා අයවැය යෝජනා ලබා ගැනීමේ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් පවත්වන ලදි.
ඒ පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් එම සංසදය පාර්ලිමේන්තුවේදී මේ මස 25 සහ 27 දිනයන්වලදී රැස්වූ අවස්ථාවේදීය.
ආබාධ සහිත තැනැත්තන් අන්තර්කරණය මෙන්ම ඔවුන්ට සේවා සහ පහසුකම් සැලසීම සඳහා පවතින බාධක හඳුනාගනිමින්, ඊට තිරසර විසඳුම් ලබාදීම උදෙසා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය බහුවිධ ප්රවේශයකින් ක්රියාත්මක වෙමින් පවතී. එහි දිගුවක් ලෙස 2027 වර්ෂයට අදාළ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම තුළින් ආබාධ සහිත ප්රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමත්, ඔවුන්ගේ පූර්ණ හා ඵලදායි සමාජ සහභාගීත්වය වඩාත් සංවිධිත ආකාරයට තහවුරු කිරීමත්, අපේක්ෂා කෙරේ.
ඒ අනුව, දැනට ක්රියාත්මක කරමින් පවතින වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, නව යෝජනා ක්රියාත්මක කිරීම සඳහාත්, ආබාධ සහිත තැනැත්තන්ගේ සංවිධාන නියෝජිතයින්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නියෝජිතයින් සහ ආබාධ සහිත ක්ෂේත්රයේ ක්රියාකාරී වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් මෙම යෝජනා ලබාගැනීම සිදු විය.
මෙම අවස්ථාව, ආබාධ සහිත තැනැත්තන් ජාතික අයවැය ලේඛනයේ අන්තර්ගතය සම්බන්ධයෙන් සෘජු සහ ජාතික මට්ටමේ උපදේශන ක්රියාවලියකට දායක කරගත් පළමු අවස්ථාව බව සභාපතිවරයා වැඩසටහන අතරතුර අදහස් දක්වමින් ප්රකාශ කළේය. දින දෙකක් පුරාවට, වාචික ඉදිරිපත් කිරීම් සමඟ ලිඛිත යෝජනා කට්ටල 50 ක් පමණ මෙහිදී විවිධ ආබාධිත කණ්ඩායම් නියෝජනය කරන සංවිධානය මගින් සංසදය වෙත ඉදිරිපත් කරන ලදි. මූල්ය දීමනා සහ සමාජ ආරක්ෂණය, අධ්යාපනය සහ වෘත්තීය පුහුණුව, ප්රවේශ්යතාව සහ යටිතල පහසුකම්, සෞඛ්ය සහ සහායක තාක්ෂණික උපකරණ, රැකියා සහ ජීවනෝපායන්, නීති ආධාර, දත්ත කළමනාකරණය සහ ආබාධිතභාවයන්ට අදාළ අනෙකුත් නිශ්චිතව හඳුනාගත් ප්රමුඛතා ඇතුළුව ආබාධ සහිත තැනැත්තන්ට බලපාන ප්රධාන ක්ෂේත්ර මෙම යෝජනා මගින් ආවරණය විය.
ඉදිරිපත් වූ සියලු යෝජනා පරීක්ෂා කර, ප්රමුඛතාව අනුව ගොනුකර, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල්, ක්රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයට සංසදය ඔස්සේ සෘජුවම ඉදිරිපත් කරන බවට ද සභාපතිවරයා රැස්වීම අවසානයේ සහතික විය.
මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීම සඳහා එහි සාමාජික මන්ත්රීවරු පිරිසක්ද සහභාගී වූහ. ඕස්ට්රේලියානු රජයේ අනුග්රහය ලබන මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්යන්තර පදනම (IFES) විසින් මෙම කර්තව්යය සාර්ථක කරගැනීමට අවශ්ය සම්බන්ධීකරණය සහ මූල්ය සහාය දක්වන ලදී.