මෙවර හජ් වන්දනාවට සහභාගි වන ශ්රී ලාංකික බැතිමතුන් වෙනුවෙන් උපරිම සේවාවන් සහ පහසුකම් සැපයීම තහවුරු කිරීමේ අරමුණින්, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්ය අමාත්ය මුනීර් මුලෆ්ෆර් මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (24) සෞදි අරාබියේ පිහිටි ශ්රී ලංකා ‘සිලෝන් හවුස් (Ceylon House)’ හිදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකා හජ් කමිටුවේ සභාපති රියාස් මිහුලාර් මහතා ඇතුළු කමිටු සාමාජිකයින්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් මෙන්ම හජ් ඒජන්සිකරුවන් වෙනුවෙන් ප්රධාන මුනස්සිම්වරුන් (Monassims) ද එක්ව සිටි බව වාර්තා වෙයි.
හජ් වන්දනාවේ වැදගත්ම සහ දුෂ්කරම අදියරක් වන මිනා (Mina) සහ අරෆා (Arafat) යන ශුද්ධ වූ භූමියන්හි ශ්රී ලාංකික බැතිමතුන් වෙනුවෙන් පිහිටුවා තිබෙන කුඩාරම් (Tents) සහ සනීපාරක්ෂක පහසුකම්වල වත්මන් තත්ත්වය සහ හජ් මෙහෙයුමේ ප්රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබේ.