ජාතික තරුණ සේවා සභාව මගින් ක්රියාත්මක කළ One Million Volunteers ස්වේච්ඡා ශ්රම බලකාය නිර්මාණය කිරීමේ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්, එය දීප ව්යාප්ත "තරුණ ස්වේච්ඡා බලකායක්" බවට පරිවර්තනය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බව තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඕනෑම හදිසි ආපදා අවස්ථාවකදී මෙන්ම රටේ සංවර්ධන කටයුතුවලදී ද සක්රීයව මැදිහත් විය හැකි ගුණාත්මක තරුණ පිරිසක් බිහිකිරීම මෙහි ප්රධාන අරමුණයි.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතාගේ ප්රධානත්වයෙන් බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී පසුගියා (27) පැවැත්විණි.
මෙම ජාතික වැඩපිළිවෙළ සඳහා ආපදා කළමනාකරණ අමාත්යාංශය සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානය සිය පූර්ණ සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, ස්වේච්ඡා තරුණ පිරිස් සඳහා අවශ්ය කරන තාක්ෂණික ධාරිතාවය සහ පුහුණුව ලබාදීමට එම ආයතන සෘජුවම මැදිහත් වනු ඇත. මුළු දිවයිනම ආවරණය වන පරිදි සෑම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම තෝරාගත් 30 දෙනෙකුගෙන් යුත් ස්වේච්ඡා තරුණ බලකායක් ශක්තිමත් කිරීමට නියමිතය. මෙහි නියමු ව්යාපෘතිය බදුල්ල දිස්ත්රික්කය මූලික කරගනිමින් ක්රියාත්මක වන අතර, පුහුණු කිරීමේ කටයුතු එළඹෙන මැයි මාසය අග වන විට ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර තිබේ.
රටේ සංවර්ධන කටයුතු සඳහා තරුණ ස්වේච්ඡා ශ්රමය අත්යවශ්ය මොහොතක, අලුත් විදියකට මැදිහත් විය හැකි මානුෂීය ගුණයෙන් හෙබි පුරවැසියන් පිරිසක් නිර්මාණය කිරීම අපගේ අපේක්ෂාවයි. ලාංකීය තරුණ ශ්රමය අඛණ්ඩව රටේ ප්රගතිය සඳහා දායක කරගත හැකි ස්ථාවර යාන්ත්රණයක් ගොඩනැගීමේ පළමු අදියර ලෙස මෙය හඳුන්වා දිය හැකිය. රටට අවශ්ය කරන ඒ සක්රීය තරුණ ශ්රමය ලබාදීම සඳහා නිල වශයෙන් එක්වන රටේ සියලුම තරුණ තරුණියන්ට අමාත්‍යාංශය ඇරයුම් කරයි.
වයස අවුරුදු 35ට අඩු, රට වෙනුවෙන් සේවය කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම තරුණයෙකුට හෝ තරුණියකට මේ සඳහා එක්වීමට අවස්ථාව පවතී. මේ වන විටත් ජාතික තරුණ සේවා සභාව විසින් මේ සම්බන්ධ චක්රලේඛ නිකුත් කර ඇති අතර, උනන්දුවක් දක්වන පිරිස්වලට තමන්ගේ ප්රාෙද්හීය ලේකම් කොට්ඨාසයේ තරුණ සේවා නිලධාරියා හමුවී ලියාපදිංචි විය හැකි බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.