මාතර දිස්ත්රික් අපනයන කෘෂිකර්ම කාර්යාලය මගින් සංවිධානය කරන ලද "අපනයන කෘෂි මහිම - පොකුරු ගම්මාන" වැඩසටහනට අදාළ මාතර දිස්ත්රික් වැඩසටහන් පසුගියදා ආරම්භ කෙරිණි.
මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය එල්.එම්.අබේවික්රම මහතාගේ ප්රධානත්වයෙන් මුලටියන ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්සෑගොඩ ශ්රී විජයාරාම විහාරස්ථානයේ දී ආම්රභක වැඩසටහන පැවැති අතර අපනයන කෘෂිභෝග ඉලක්ක කරගනිමින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ක්රියාත්මක කරන අපනයන කෘෂි මහිම ජාතික වැඩසටහනට සමගාමීව මෙම පොකුරු ගම්මාන වැඩසටහන ක්රියාත්මක වෙයි.
2026 දී රට පුරා පොකුරු ගම්මාන 200 ක් ආරම්භ කිරීමට නියමිත අතර, 2030 වනවිට එය ගම්මාන 500 ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිතය. 2030 වනවිට කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 455 ක ඉලක්කයක් සපුරා ගැනීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණයි.
මේ පොකුරු ගම්මාන වැඩසටහන යටතේ තෝරාගත් ගම්මානවල අපනයන කෘෂි නිෂ්පාදන සමිති පිහිටුවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරයි. එසේම නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සහ මූලික වගා තාක්ෂණය වගාකරුවන් වෙත ලබාදීම පළමු වසර දෙකේ දී සිදු කෙරේ. ඉන් අනතුරුව ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් සහතිකකරණ හා අගය එකතු කළ නිෂ්පාදන කරා යොමු වීමටත් අවස්ථාව සැලසේ. විදේශ වෙළෙඳපොළ සම්බන්ධීකරණය කිරීම ඉන් අනතුරුව සිදු කරයි. කුළුබඩු කර්මාන්තයේ නියැළෙන වගාකරුවන්, නිෂ්පාදකයන්, අපනයනයකරුවන් ආදි පාර්ශ්වකරුවන් ඒකරාශි කර සාමූහික කණ්ඩායම් ලෙස ගොඩනැංවීම මෙහි තවත් අරමුණකි. ශ්රී ලංකේය කුළුබඩු නිෂ්පාදනවල අනන්‍යතාව විදේශ වෙළෙඳපොළේ තහවුරු කර ගැනීමට මෙඟින් අවස්ථාව සැලසේ.
මෙහි දී පොකුරු ගම්මානය තුළ වැඩසටහන් ක්රියාත්මක වන ආකාරය, ලබා දෙන ප්රතිලාභ මෙන්ම ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳ පොළට සම්බන්ධීකරණය සිදු කරන ආකාරය පිළිබඳව දැනුවත් කරන ලද අතර පොහොර හා කෘෂි රසායන ආර්ථිකමය වාසිදායක ලෙස භාවිතය පිළිබඳව ද පුහුණුවක් ලබා දෙන ලදි.
මුලටියන ප්රදේශිය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, පොල් වගාකිරීමේ මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතන රැසක් හා හේලීස් පුද්ගලික සමාගම හා ෆ්රීලන් සමාගම සහභාගි විය.