Saturday, March 07, 2026
Follow Us
ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීමට මඩකලපුවේදී වැඩසටහනක්

ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ දිස්ත්‍රික් මට්ටමේ අදහස් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහන් මාලාවේ තෙවැන්න පසුගියදා (27) මඩකලපුව දිස්ත්‍රික්කයේදී සාර්ථකව පැවැත්විණි.

දසවැනි පාර්ලිමේන්තුවේ ‘ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ මූලිකත්වයෙන්  මඩකලපුව මහ නගර සභා ශාලාවේදී පැවත්විණි.

මෙම අදහස් විමසීමේ වැඩසටහන  සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතා සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.එස් අරුල්රාජ් යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් පැවති අතර, නියෝජ්‍ය සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පද්මනාදන් සත්‍යලිංගම් මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත්, ඥානමුත්තු ශ්‍රීනේසන් සහ කන්දසාමි ප්‍රභු යන මහත්වරු සහභාගී වූහ. තවද මඩකලපුව සහකාර දිස්ත්‍රික් ලේකම් ජී. ප්‍රවීන්, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී චන්ද්‍රකලා ඥානේෂ්වරන්, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන්, මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින්, සමාජ සංවර්ධන නිලධාරීන් ඇතුළු  රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින්ගේ සංවිධානවල නියෝජිතයින් ද මෙම සාකච්ඡාවලට සහභාගී වූහ.

ක්‍රියාකාරී සංගම් 14 ක සහාය ඇතිව මඩකලපුව දිස්ත්‍රික්කයේ ආබාධිත පුද්ගලයින් 9,000 කට වැඩි පිරිසක් ජීවත් වන බවට සංඛ්‍යාලේඛන මගින් මෙහිදී අනාවරණය විය. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. එස්. අරුල්රාජ් මහතා විසින් මෙහිදී පෙන්වා දුන්නේ සිසුන් 183 දෙනෙකුට සේවය ලබා දෙන විශේෂ අධ්‍යාපන ඒකක 23 ක පුහුණු ගුරුවරුන් 21 දෙනෙකුගේ අවශ්‍යතාවය ඇතුළු ගැටලු පවතින බවයි. ආබාධිත පුද්ගලයින් සඳහා විධිමත් හැඳුනුම්පත් නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ දුෂ්කරතා සහ පොදු ගොඩනැගිලිවලට ප්‍රවේශවීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව ද ඔහු කනස්සල්ල පළ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතා අවධාරණය කළේ, මෙම අදහස් විමසීමේ වැඩසටහන මගින් දයානුකම්පිත සහ සියලු දෙනාට අවස්ථා හිමිවන සමාජයක් ගොඩනැගීම සඳහා පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි. ආබාධ සහිත පුද්ගලයින් සඳහා සේවාවන් මනුෂ්‍යත්වය සහ සමානාත්මතාවය මත පදනම්ව ලබා දිය යුතු බව ද ඔහු පැවසීය. ආබාධ සහිත පුද්ගලයන්ට රජයේ රැකියා සඳහා සුදුසුකම් ලැබීමේ විභාග ක්‍රමයේ පවතින බාධාවන් මගහරවාගැනීම සඳහා මාර්තු මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වීමට සංසදය සැලසුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන දිගුකාලීන ගැටළු විසඳීම සඳහා කැපවීමෙන් සහ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු රජයේ සියලු නිලධාරීන්ගෙන් සහ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටියේය.

සංසදයේ නියෝජ්‍ය සම සභාපති වෛද්‍ය පද්මනාදන් සත්‍යලිංගම් මහතා මෙහිදී අදහස් දක්වමින්, මඩකලපුවේ ආබාධ සහිත පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට සහාය දීමේ වැදගත්කම අවධාරණය කළේය. විශේෂයෙන් ගැටුම් සහ වෙනත් හේතූන් නිසා ආබාධිතභාවයට පත් පුද්ගලයින් සඳහා ප්‍රමාණවත් පහසුකම් සහ සේවාවන් සහතික කිරීම සඳහා අදාළ ආයතන හරහා සම්බන්ධීකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙහිදී අදහස් හා යෝජනා ඉදිරිපත් කරමින් ආබාධ සහිත ප්‍රජාවට සේවා සැපයීමේදී  මුහුණදීමට සිදුවන තත්ත්වයන් සහ දෛනික ජීවිතයේදී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික අභියෝග පෙන්වා දුන්හ. ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් පැමිණ පිරිස මෙහිදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ අධ්‍යාපන දීමනා නියමිත දිනයට ලැබීමට සැලැස්වීම, බ්‍රේල් ක්‍රමය පදනම් කරගත් ක්‍රමවේදයන් හරහා දෘශ්‍යාබාධිත අපේක්ෂකයින් සඳහා තරඟකාරී විභාග පැවැත්වීම, රෝහල්වල ප්‍රමුඛතා ප්‍රවේශය ලබා දීම, පොදු ප්‍රවාහනයේ වෙන් කර ඇති ආසනවලට ගරු කරන බව සහතික කිරීම, සහ විශේෂ ප්‍රවේශ මාර්ග හෝ සෝපාන නොමැතිව ඉහළ මහලවල රැස්වීම් බොහෝ විට පවත්වන පළාත් පාලන කාර්යාලවල ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු  කිහිපයක් ඔවුහු පෙන්වා දුන්හ.

මෙහිදී උක්ත ප්‍රජාවට අදාළ සමහර ගැටළුවලට ඒ මොහොතේම අදාළ නිලධාරීන්ට නිකුත් කරන ලද නියෝග ඔස්සේ වහාම විසඳුම් ලබාදුන් අතර, අනෙකුත් කරුණු දිගුකාලීන තිරසාර හා පද්ධතිමය වෙනසක් සිදුකිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණයන් සඳහා දිස්ත්‍රික් බලධාරීන් සහ පාර්ලිමේන්තු සංසදය වෙත යොමු කරන ලදී.

ආබාධ සහිත පුද්ගලයින්ගේ ගැටළු වලට සෘජුවම සවන් දීමට සහ ඒවා ගැන නිසි අවධානය යොමුකිරීමට මෙන්ම එම ගැටළු සඳහා ප්‍රතිපත්ති මත පදනම් වූ විසඳුම් යෝජනා කිරීම සඳහා රට පුරා දිස්ත්‍රික් මට්ටමේ හමුවීම් පැවැත්වීමට කටයුතු කරන බව සංසදයේ සභාපතිවරයා පැවසීය. ඒ මගින් ශ්‍රී ලංකාව තුළ වෙසෙන උක්ත ප්‍රුරවැසියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමට සිය සංසදය කැපවී සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම අවස්ථා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් ආධාර සහිත මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනම (IFES) එක්ව සංවිධානය කරන ලදී.