Friday, March 06, 2026
Follow Us
මිලියන 20ක අල්ලසක් ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරු අත්අඩංගුවට

රුපියල් මිලියන 20ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශ්‍රාමික ප්‍රධාන ලිපිකරුවකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත 2018 වර්ෂයේදී පෞද්ගලික ආයතනයකින් ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගැනීමෙන් පසු ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙක්පත් මඟින් කුලී මුදල් ගෙවීමේදී අදාළ වෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමට පොරොන්දු වී ඒ වෙනුවෙන් අල්ලස් මුදල් ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරයි. අවස්ථා 07කදී වෙක්පත් මඟින් රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ලබාගැනීමට කටයුතු කිරීමේ චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම විශ්‍රාමික ප්‍රධාන ලිපිකරු පෙරේදා (4 වැනි දින) ප.ව.1.15 ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපණශාලාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.