Thursday, March 05, 2026
Follow Us
Youth Link Sri Lanka සමාරම්භය අද මඩකලපුවේ දී

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන Youth Link Sri Lanka වැඩසටහන අද (05දා) පස්වරු 1.30ට මඩකලපුවේදී ආරම්භ වීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පැවසීය. 

ඒ අනුව ගම්පහ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ස්ථාන තුනක නවාතැන් ගැනීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය. 

අද (05දා) දිනයේදීම පස්වරු දෙකට අම්පාර දිස්ත්‍රික්කය තුළදී ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ අනුව මාතලේ සහ කුරුණෑගල තරුණ තරුණියන් අම්පාර දිස්ත්‍රික්කය වෙත යාමට නියමිත බව ද සභාපතිවරයා විසින් සඳහන් කළේය. 

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන Youth Link Sri Lanka වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (04දා) ජාතික තරුණ සේවා සභාවේදී පැවැත්විය. 

මාධ්‍ය හමුවට සහභාගී වූ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසුවේ ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීම වෙනුවෙන් Youth Link Sri Lanka වැඩසටහන කදිම ප්‍රවේශයක් බවයි. අභියෝග බාරගත හැකි තාරුණ්‍යයක්, සහකම්පනය සහිත තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙවැනි වැඩසටහන් තුළින් විශාල දායකත්වයක් දක්වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කළේය. 

වත්මන් තාරුණ්‍යයට නිවැරදි දිශානතිය පෙන්වීමේ වගකීම සහිත ප්‍රමුඛතම ආයතනය ලෙස ජාතික තරුණ සේවා සභාවේ මැදිහත්වීම අගය කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළේය. පටු දේශපාලන අරමුණු පරාජය කිරීම වෙනුවෙන් ආගම්, ජාති, කුල භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් ස්වීකරණය වීම අවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

ඒ අනුව Youth Link Sri Lanka වැඩසටහනේ මුල් අදියර අද දිනයේදී ආරම්භ වන අතර එහිදී උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක්, නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනක් හා මහනුවර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් වැඩසටහන් 20ක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. 

මෙම දේශීය තරුණ හුවමාරු වැඩසටහන "Connect - 2026 Youth Clubs" යටතේ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලියාපදිංචි යෞවන සමාජ ආශ්‍රිතව ක්‍රියාත්මක වේ. 

දින හයක වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා වයස අවුරුදු 18ත් 29ත් අතර තරුණ තරුණියන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය. 

වැඩසටහනේ පළමු අදියර මැයි මාසයේ දී අවසන් වේ. වැඩසටහනේ දෙවන අදියර මැයි මස පළමුවැනිදා ආරම්භ වී සැප්තැම්බර් 3 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇත.