සංවිධානාත්මක අපරාධ පාලනය සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
එම පනත් කෙටුම්පත මේ වන විට සකස්කර අවසන් කර ඇති බවත් ඉදිරි සති දෙක ඇතුළත එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තවත් සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා කීය. මීරිගම පොලිස් ස්ථාන භූමියේ රුපියල් කෝටි අටක වියදමින් ඉදි කෙරෙන නව පරිපාලන ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට ඊයේ (25) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බලය රැකගැනීම සඳහා පසුගිය පාලන සමයන්හිදී දේශපාලනඥයන් සහ පාතාලය අතර පැවති අපරාධකාරී සබඳතාවය වත්මන් රජය යටතේ සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇති බවද ඇමැතිවරයා පැවසීය. ඉකුත් වකවානුවන්හිදී දේශපාලන රැස්වීම් සංවිධානය කිරීමට පවා ඇතැම් දේශපාලනඥයන් පාතාල කල්ලි යොදාගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව හෙළිවී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.