මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව (ගම්පහ) සහ ශ්රී ලංකා පොලිසිය එක්ව ගම්පහ දිස්ත්රික්කය තුළ රථවාහන දෝෂ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් පසුගියදා (20) දියත් කර තිබේ.
ඒ අනුව කඩවත හා මිරිගම අධිවේගි මාර්ග පිවිසුම් අසල, බැලුම්මහර, යක්කල, නිට්ටඹුව, කටාන, ජා ඇල, පල්ලෙවෙල, වේයන්ගොඩ, දොම්පෙ, කැලණිය, මිනුවන්ගොඩ වශයෙන් ස්ථාන 12කදී දවස පුරා මෙම විශේෂ මෙහෙයුම ක්රියාත්මක කෙරිණ.
මෙහිදී පොදු ප්රවාහනයට සම්බන්ධ බස්රථ, පාසල් වෑන් රථ, ලොරි,ත්රීවිල්, බර වාහන ආදි රථ අහඹු ලෙස පරීක්ෂා කිරීම සිදු කරන ලද අතර මෙහෙයුම තුලින් වාහන 500ක් පමණ පරීක්ෂාවට ලක් කිරීමට අපේක්ෂා කෙරේ.
එහිදී ධාවනයට නොසුදුසු තත්ත්වයේ රථ වාහන තහනම් නියෝග නිකුත් කර ධාවනයෙන් ඉවත් කිරීමට ද අලුත් වැඩියා කළ යුතු වාහන දින 10ක් තුළ අලුත් වැඩියාකොට පෙන්වීමේ නියමයට යටත්ව අලුත් වැඩියා නියෝග ද ලබා දීම සිදු කෙරේ.
මෙහිදී ගම්පහ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු නියෝජ්ය කොමසාරිස් කලණ ජයනන්ද මහතා අදහස් දක්වමින් හඳුනාගත් දෝෂ සම්බන්ධව මෝටර් රථ අලුත්වැඩියාව සහ තහනම් නියෝගවලට අනුව ඒවාට අදාළ ඉදිරි අධිකරණ ක්රියාමාර්ග ගැනීමට කටයුතු කළ අතර නිවැරදි කළ හැකි දෝෂ නිවැරදි කර පෙන්වූ පසු එම වාහන නිදහස් කරන බවත් පැවසීය.
සාමාන්ය පරිදි සිදු කරන මෝටර් රථ පරීක්ෂාවට අමතරව මෙම විශේෂ මෙහෙයුම් මාසිකව පවත්වන බවත්, මෙම පරික්ෂා කිරීම් නිසා ධාවනයට නොසුදුසු වාහන භාවිතයේ අඩුවීමක් දක්නට ලැබෙන බවත් ,මෙම වැඩසටහන් මහජනතාවගේ සහ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්රියාත්මක කරන බැවින් ඒ සඳහා මහජනතාව ලබා දෙන සහයෝගය ඉතා අගය කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම මෙහිදී රියදුරු බලපත්ර නොමැතිව සහ විවිධ රථ වාහන වැරදි සහිතව ධාවනයේ යෙදුණු රියදුරන්ට ශ්රී ලංකා පොලිසිය විසින් දඩ කොල නිකුත් කෙරිණි.