Tuesday, February 17, 2026
Follow Us
මේ වසර ඇතුලත අඩු ආදායම් ලාභීන්ට නාගරික නිවාස 2,500ක්

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා වැඩසටහන යටතේ 2026 වසර තුලදී අඩු ආදායම්ලාභී, ස්ථිර නිවාස නොමැති ජනතාව සදහා නාගරික නිවාස 2,500 ක් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස්කර කඩිනමින් ක්‍රියාත්මක කරමින් පවතින බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයි මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඉදිවෙන ‘ස්ටේඩියම්ගම’ නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් සොයාබැලීම සදහා ක්ෂේත්‍ර පරීක්ෂාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පදිංචියට පෙර ආරක්ෂාව සහ සමාජ අවශ්‍යතා, සුව පහසුව වැනි අංශ වැඩි කළ හැකිදැයි  මෙදින සොයා බැලු බව ප්‍රකාශ කළ අමාත්‍යරවයා  මෙවැනි මහල් නිවාස තුනක් මේ වසර තුල ලබාදීමටත් ඉදිරි දෙවසර තුලදී කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට නව නාගරික නිවාස 7,000 ක් ලබාදීමටත් වැඩ කටයුතු කරමින් පවතිනන බව ද පෙන්වා දුන්නේය.

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයට පිළිතුරු දෙමින්,

‘අනවසර ඉදිකිරීම් ජනතාව තනිවම කරපුවා නොවෙයි. ඒ්වාට නිශ්චිත දේශපාලන මැදිහත්වීම් තියෙනවා. ජනතාවාදී රජයක් ලෙස අපි අනවසර ඉදිකිරීම්, අනවසර ගොඩකිරීම් කරන්න ඉඩ දෙන්නේ නෑ. ආර්ථික, සමාජයීය වශයෙන් බිදවැටීම් වලක්වන්න රජය විදියට මැදිහත් වෙනවා. එහිදී ඉදිරි සියලු සංවර්ධන ව්‍යාපාතිවලදී නීත්‍යානුකූල ක්‍රමවේදයන් අනුව පරිසරය රකිමින් ජනතාවාදී සංවර්ධනයක් ක්‍රියාත්මක කරනවා‘.