සෞදි අරාබි රාජ්‍යයේ නිල ආරාධනයකට අනුව එරට රියාද් නුවර පැවැත්වෙන 2026 ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනයට එක්වීම සඳහා, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) නිල සංචාරයක නිරත විය.
පෙබරවාරි 08 සිට 12 දක්වා පැවැත්වෙන මෙම ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනය, ගෝලීය ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාව තහවුරු කිරීම පිළිබඳ ප්‍රමුඛතම වේදිකාවක් ලෙස මේවන විටත් ස්ථාවර වී ඇත. මෙම දැවැන්ත ජාත්‍යන්තර උළෙල ඔස්සේ ලොව පුරා සිටින ආරක්‍ෂක කර්මාන්ත ක්ෂේත්‍රයේ නායකයින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නියෝජිතයින් එක්රැස් කරමින්, උපායමාර්ගික වශයෙන් ඉහළම මට්ටමින් වැදගත් සංවාද සහ සහයෝගීතාව සඳහා ද අවශ්‍ය පහසුකම් සලසයි. ගුවන්, ගොඩබිම්, මුහුදු, අභ්‍යවකාශ සහ ආරක්‍ෂක යන අංශවල නවීනතම තාක්ෂණික මෙවලම් සහ නවෝත්පාදනයන් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර, ගෝලීය සහයෝගීතාව ප්‍රවර්ධනය, ව්‍යාපාරික සංවර්ධනය සහ අනාගත ඒකාබද්ධ ආරක්‍ෂක විසඳුම් පිළිබඳ සාකච්ඡා ද මෙහිදී සිදුකෙරේ.
රටවල් 89 ක් නියෝජනය කරමින් ආයතන 1,486 කට වැඩි ප්‍රමාණයක සහභාගීත්වයෙන් යුත් මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය අතරතුර, මේජර් ජෙනරල් ජයසේකර (විශ්‍රාමික) එහි වූ විශේෂ ප්‍රදර්ශන කුටි සහ පහසුකම් නිරීක්‍ෂණය කළේය. මෙම ප්‍රදර්ශනය සඳහා රාජ්‍ය ආයතන රැසක මෙන්ම, ප්‍රමුඛ පෙළේ දේශීය හා ජාත්‍යන්තර ආරක්‍ෂක සමාගම්වල ද දායකත්වය ලැබී තිබීම විශේෂත්වයකි.
මීට සමගාමිව, නියෝජ්‍ය අමාත්‍යවරයා විදෙස් රටවල් කිහිපයක ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ හමුදා නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ද නියමිතය. එමඟින් අනෙකුත් රටවල් සමඟින් ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සහ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ නිශ්චිත අවස්ථාවන් හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.