Tuesday, February 03, 2026
Follow Us
ආබාධ සහිත ප්‍රජාව ජාතික සංවර්ධනයට දායක කර ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අතර සාකච්ඡාවක්

ආබාධ සහිත කාන්තාවන් ඇතුළු ප්‍රජාවේ අයිතිවාසිකම්, අන්තර්කරණය සහ ජාතික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ  ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය  (ආකාස)  අතර පසුගියදා (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන ගරු අමාත්‍ය සරෝජා පොල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම  රැස්වීමට ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය වන එන්.ජී කමලාවති මෙ‍ෙනවිය ඇතුළු නියෝජිත පිරිසකට  ආරාධනා කර තිබිණි.

මෙහිදී ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ කාර්ය භාරය මෙන්ම වර්තමානයේ ආබාධ සහිත කාන්තාවන් ඇතුළු සමස්ත ආබාධ සහිත ප්‍රජාවට මුහුණදීම‍ට සිදුවන ගැටලු, අයිතිවාසිකම් සහ අභියෝග පිළිබඳව මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත කරුණු ඉදිරිපත් කිරීම සිදුවිය.

පොදු ස්ථානවලට ප්‍රවේශ පහසුකම් නොමැතිවීම සහ ඉදිකර ඇති ඇතැම් ඒවා ප්‍රමිතියට අනුකූල නොවීම, ප්‍රවාහන ගැටලු, ඇතැම් බැංකු හරහා ගිණුමක් විවෘත කර ගැනීමට පවා නොහැකිවීම ඇතුළු අභියෝග සහ ඒවාට විසඳුම් ලබාදීමට අදාළ යෝජනා ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

ආබාධ සහිත ප්‍රජාවට අනුකම්පාවෙන් සැලකීම වෙනුවට සහකම්පනයෙන් යුතුව ඔවුන්ව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය ඇතුළු නියෝජිතයෝ අවධාරණය කළහ.

ඉතිහාසයේ පළමු වරට ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරමින් ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාට පාර්ලිමේන්තුවේ නියෝජනයක්  ලබාදීමට හැකිවීම සාධනීය පියවරක් බව සංසදයේ සභාපතිවරිය මෙහිදී සඳහන් කළාය. ආබාධ සහිත කාන්තාවන් ඇතුළු සමස්ත ප්‍රජාව වෙනුවෙන් මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ රජය විසින් සිදුකරනු ලබන වැඩපිළිවෙලට ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ යෝජනා සහ සහය අපේක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්මිනිස්ටර් පදනමේ (WFD) මෙරට ප්‍රධානී සංජය විග්නරාජා මහතා ඇතුළු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ද පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්මිනිස්ටර් පදනමේ අනුග්‍රහය සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය 2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව මූලික කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නියෝජනය කරමින් එහි සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.