Monday, January 26, 2026
Follow Us
තිරසර වනජීවී කළමනාකරණය සහ සංරක්ෂණය උදෙසා “WILD LANKA” ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඇරඹේ

වනජීවී කළමනාකරණ ක්ෂේත්‍රයේ නැගී එන අභියෝග සහ නව්‍ය විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශීය හා විදේශීය පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සංරක්ෂණවේදීන්ගේ සහභාගීත්වයෙන් WILD LANKA ජාත්‍යන්තර විද්‍යාත්මක සම්මන්ත්‍රණය අද  (26) බත්තරමුල්ල, වෝටර්ස් එජ් (Water’s Edge) පරිශ්‍රයේදී ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය.

පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ තිරසර සංවර්ධනය අතර සමබරතාවයක් පවත්වා ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙල පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.

“නිල් කාබන් පරිසර පද්ධති සංරක්ෂණය” (Conserving Blue Carbon Ecosystems), මිනිස්-වනජීවී ගැටුම් අවම කිරීම සහ වනජීවී නිරීක්ෂණ කටයුතු සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතය වැනි තේමාවන් යටතේ තාක්ෂණික සැසි රැසක් සමගින් WILDLANKA 2026 සම්මන්ත්‍රණය ඉදිරියට පැවැත්වේ.

මෙම සම්මන්ත්‍රණයට සමගාමීව Wild Lanka පර්යේෂණ සගරාව එළිදැක්වීමද සිදු වූ අතර මෙහි සමාරම්භක උත්සවය සඳහා නීතිපති පාරින්ද රණසිංහ මහතා,  පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා, ආචාර්ය රොහාන් පෙතියාගොඩ යන මහත්වරුන් මෙන්ම පර්යේෂකයන් සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විද්‍යාර්ථයින් රැසක් සහභාගී වූහ.

මෙම සමුළුවේ සොයාගැනීම් ඉදිරි ජාතික ප්‍රතිපත්ති සහ සංරක්ෂණ ක්‍රියාකාරී සැලසුම් සැකසීමේදී පදනම් කර ගැනීමට අපේක්ෂිතය.