ආබාධ සහිත තැනැත්තන් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව ආබාධ සහිත තැනැත්තන්ගේ අදහස් දිස්ත්‍රික් මට්ටමින් ලබාගැනීම සඳහා වූ විශේෂ වැඩසටහනක් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් ජනවාරි මස 30 කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශාලාවේදී පැවැත්වීමට නියමිත බව එම සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය.
ඒ අනුව දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ, "ආබාධිතභාවයට සංවේදී පාර්ලිමේන්තුවක්" යන අභිලාෂයට අනුව දිවයින පුරා ආබාධ සහිත තැනැත්තන්‍ගෙන් සෘජු අදහස් ලබා ගැනීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර ලෙස මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳ කරුණු සකච්ඡා වුයේ 2026 වසර සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ සාකච්ජා කිරීම සඳහා එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.01.09 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපතිවරයා මෙම වැඩසටහන් මාලාවේ පළමු අදියර කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව සඳහන් කළේය. තවද මෙම වැඩසටහන් මාලාවේ තෙවැනි සහ සිව්වැනි අදියර පිළිවෙලින් පෙබරවාරි මස 27 වැනි දින මඩකලපුවේදී සහ මාර්තු මස 27 වැනි දින පොළොන්නරුවේදී ද පැවැත්වීමට තීරණය කරන ලදී.
එමෙන්ම ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ක්‍රියාකාරී සැලැස්මේ අංගයක් ලෙස අමාත්‍යාංශවල පැවැත්වීමට සැලසුම් කර ඇති සංවේදීකරණ වැඩසටන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වීමටද අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය.
මේ අවස්ථාව සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සහ (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, සංසදයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම, චන්දිම හෙට්ටිආරච්චි, පද්මසිරි බණ්ඩාර, (වෛද්‍ය) ඉලෙයියතම්බි සිරිනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.