සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන් අද (17) පෙරවරුවේ මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ මල්වතු මහා විහාරයේ දී මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
පළමුව අමාත්‍යවරුන් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා, සුව දුක් විමසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සහ කාලීන ගැටළු කිහිපයක් පිළිබදව පුළුල් කතිකාවතක නිරත වූහ.
ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි අමාත්‍යවරුන් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක, සුවදුක් විමසීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සහ කාලීන ගැටළු කිහිපයක් පිළිබදව ද පුළුල් කතිකාවතක නිරත වූහ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන සැලසුම්ගත වැඩපිළිවෙළ පිළිබදව ද, විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පිහිටුවීමේ ව්‍යාපෘතිය පිළිබදව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉතා සවිස්තරව මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.
පසුගිය වර්ෂයේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භකළ පළමු “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” පහ වර්තමානයේ ක්‍රියාත්මකවන ආකාරය පිළිබදවත්, මේ වනවිට එම මධ්‍යසථාන තුළින් ග්‍රාමීය ජනතාවට ඉතා සාර්ථකව ප්‍රතිකාර ඇතුළුව සෞඛ්‍ය සේවාවන් සිදුකරන බව ද පැහැදිලිකළ අමාත්‍යවරයා එම අක්දැකීම්ද පාදක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කළ බව සදහන් කළේ ය.
ඒ අනූව ලබන 24 වනදා එම ව්‍යාපෘතියේ දෙවන පියවර ආරම්භ කරන බවත්, මෙම වර්ෂය තුළදී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” 250 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් මෙහි දී සදහන් කළ අමාත්‍යවරයා ඉදිරි වර්ෂ දෙකහමාර තුළදී “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” දීපව්‍යාප්තව ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව ද මහානායක හිමිවරුන් හමුවේ පැවසීය.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම තුළින් තුළින් බෝ නොවන රෝග වළක්වා ගැනීමට මෙන්ම ප්‍රධාන රෝහල්වල තදබදය අවම කර ගැනීමට මහත් පිටුවහලක්වනු ඇතැයි නිරීක්ෂණය වන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී සදහන් කළේ ය.
රටතුළ ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අඩුකර ගැනීම සදහා මෙවැනි කාලීන ව්‍යාපෘතීන් බෙහෙවින් ඉවහල්වනු ඇතැයි තමන්ද අදහස් කරන බව මෙහි දී සදහන්කළ මහනායක හිමිවරුන් ආයුර්වේද ක්ෂේත්‍රයද මෙම වැඩසටහනට ඒක් කරගැනීම ප්‍රශංසනීය කරුණක් බව සදහන් කළේය. එමෙන්ම එම ව්‍යාපෘති සදහා මහනායක හිමිවරුන්ගේ ආශිර්වාදය පිරිණමන බව ද මහානායක හිමිවරුන් අවධාරණය කළේ ය.
මහනුවර ජාතික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදවත්, එමෙන්ම අනෙකුත් ප්‍රධාන රෝහල්වල කටයුතු පිළිබදවත් රෝහල් ක්ෂේත්‍රයට අදාළ අනාගත සංවර්ධන ක්‍රියාවලිය පිළිබදවත් අමාත්‍යවරයා මෙහි දී මහා නායකහිමිවරුන්ට කරුණු පැහැදිලි කරණු ලැබීය.
කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ හෘර්ද රෝගීන් වෙනුවෙන් වෙන්වූ අංග සම්පූර්ණ නවීනතම හෘර්ද රෝහල මෙම වසරේ ඉදිකිරීම් ආරමභකරන බවත්, එය ඉදිරි තෙවසර තුළ ඉදිකර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත්, සදහන් කළ අමාත්‍යවරයා ඒ සදහා බිලියන 12කට අධික මුදලක් වැයකිරීමට අපේක්ෂිත බවද මහනායක හිමිවරුන්ට සැලකර සිටියේ ය.
රජයේ ප්‍රධාන රෝහල්වල ආරම්භකර මේවන විට අතරමග නවා දමා ඇති ව්‍යාපෘති 62ක්ද මේවන විට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව මෙහි දී විශේෂයෙන් සදහන් කළ අමාත්‍යවරයා දඹුල්ල මූලික රෝහල වෙනම ස්ථානයක නවීන පහසුකම්වලින් සපිරිව ස්ථාපිත කිරීමට මේවන විට සැලසුම් කර ඇති බව ද සදහන් කර සිටියේය.
දිට්වා සුළි කුණාටුවෙන් හලාවත, මහියංගනය ඇතුළුව රජයේ රෝහල් හයකට හානි සිදුවූ බවත් මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා විශේෂයෙන්ම හානියට පත්වූ මහනුවර වත්තේගම රෝහල වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට සැලසුම්කර ඇති බවද පැවසීය.
මෙරට හා විදෙශීය ආධාර මෙන්ම රජයේ මුදල් යොදවා එම රෝහල් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට මේවන විටත් පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරු මෙහි දී වැඩිදුරටත් සදහන් කළහ.
මීට අමතරව අධ්‍යාපන ,සංචාරක,භෞතික සැලසුම්, ආගමික කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබදවද අමාත්‍යවරුන් දෙපල මහානායක හිමිවරුන් සමග සාකච්ජා කරණු ලැබීය. එමෙන්ම ඉන්දියාවෙන් වැඩම කරවීමට නියමිත සර්වඥ ධාතූන්වහන්සේලා ලබන පෙබරවාරි 4 දින සිට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ප්‍රදර්ශණය කිරීම පිළිබදව මහනායක හිමිවරුන් දැනුවත් කිරීමද මෙහි දී සිදුකරන ලදී.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වත්මන් අමාත්‍යවරු ලබාදෙන නායකත්වය ඉතා ප්‍රශංසනීය බව මෙහි දී පෙන්වා දුන් මහනායකහිමිවරුන්, කාලීන ගැටළු මැනවින් නිරාකරණය කරගනිමින් මෙරට ජනතාව ලබාදෙන ප්‍රශස්ථ සේවාව පිළිබදව සිය ප්‍රසාදය ද පලකර සිටියහ.