"දිට්වා" සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්වය හමුවේ මහවැළි ගඟේ ජල මට්ටම ඉහල යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උනපඳුරු ඇතුළු අවශේෂ, පේරාදෙණිය කලුපාලම දුම්රිය පාලම සහ නිල්ලඹ කළුගමුව පාලම් තුල සිරවී, එම පාලම් ඔස්සේ ජලය ක්රමවත්ව බැස යාම අවහිර වූ අතර, එම පාලම් යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් 2025 දෙසැම්බර් මස 14 දින සහ 17 දින සාර්ථකව අවසන් කර තිබේ.
අධික ජල ගැලීම් හේතුවෙන්, පේරාදෙණිය කලුපාලම දුම්රිය පාලම තුල අවහිරතා ඉවත් කිරීම සඳහා නාවික හමුදාවේ විශේෂ කිමිදුම් කණ්ඩායමකගේ සහය 2025 දෙසැම්බර් 04 සිට ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ඒ අනුව, ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේද සහය සහිතව නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වයෙන් සති දෙකක පමණ කාලයක් සිදුකල අඛණ්ඩ මෙහෙයුමකින් පසුව, කලුපාලම තුල සිරවූ දැව කඳන් සහ විශාල උන පඳුරු ඇතුළු අවශේෂ මහත් පරිශ්රමයක් යොදා ඉවත් කර, එම පාලම ඔස්සේ අවහිරයකින් තොරව ජලය බැසයාමට සැලැස්වූ අතර, එමඟින් එහි ඉදිරි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත කඩිනමින් සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇත.
එමෙන්ම, පේරාදෙණිය නිල්ලඹ ප්රදේශයේ මහවැලි ගඟ ඔස්සේ ඇති කළුගමුව පාලම තුල සිරවූ දැව කඳන් ඇතුළු අවශේෂ හේතුවෙන්, ගැටඹේ සිට නිල්ලඹ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජල පවිත්රාගාරය වෙත ජලය රැගෙන යනු ලබන ප්රධාන ජල නල මාර්ගයට හානි සිදුවීමේ අවදානමක් ඇති විය. ඒ අනුව, එම පාලම තුල අවහිරතා ඉවත් කිරීම වෙනුවෙන් 2025 දෙසැම්බර් 11 දින නාවික හමුදාව ආරම්භ කළ විශේෂ කිමිදුම් සහය සහ ශිල්පීය දායකත්වය ලබාදිමේ මෙහෙයුම, 2025 දෙසැම්බර් 14 දින සාර්ථකව අවසන් කිරීමෙන්, එම ප්රධාන ජල මාර්ගය වෙත සිදුවීමට හැකිව තිබූ හානි වීමේ අවදානම ඉවත් කිරීමට හැකිවිය.
තවද, අයහපත් කාලගුණික තත්වය හමුවේ දිවයිනේ පීඩාවට පත් මහජනතාව වෙත සහන සැලසීම වෙනුවෙන් ශ්රී ලංකා නාවික හමුදාව ආරම්භ කළ විශේෂ මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම යටතේ, 2025 නොවැම්බර් 22 සිට 2025 දෙසැම්බර් 18 දක්වා කාලය තුල නාවික හමුදාව මඟින් ජීවිත අවදානමට පත් පුද්ගලයන් 1378 දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමටත්, පුද්ගලයින් 18301 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් අවශ්ය සහන සලසීමටත් කටයුතු කර ඇත. එමෙන්ම, ජන ජීවිතය යතාවත් කිරීම වෙනුවෙන් පොදු ස්ථාන, නිවාස සහ පානීය ජල ළිං පවිත්ර කිරීම වෙනුවෙන් නාවික හමුදාව ආරම්භ කල විශේෂ වැඩ පිළිවෙල යටතේ, මේ වන විට (2025 දෙසැම්බර් 18) පානීය ජල ළිං 1025ක්, පොදු ස්ථාන 104ක් සහ නිවාස 83ක් නාවික හමුදා දායකත්වයෙන් පවිත්ර කර භාරදීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායකත්වය ලබාදෙනු ලබයි.