ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් හලාවත පොලිස් ක්රිඩාංගණයේ පවත්වනු ලබන විශේෂ ක්ෂේත්ර රෝහල් කඳවුර සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයාගේ නිරීක්ෂණයට
ව්යසනය හමුවේ පීඩාවට පත් ජනතාවට සෞඛ්ය සේවාවන් සැපයීමට ජපානය ඉදිරිපත්වීම පිළිබඳව අමාත්යවරයා ඇගයීමට ලක් කෙරේ.
ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම (JAPAN Disaster Relief Team - JDR) විසින් හලාවත මූලස්ථාන පොලිස් ක්රීඩාංගණයේ ස්ථාපිත කර තිබෙන විශේෂ ක්ෂේත්ර රෝහල මගින් දැනට සිදුකරනු ලබන සුව සත්කාර සේවාවන් ලබන (15) දින දක්වා ක්රියාත්මක වේ.
ඒ අනුව අත්යාවශ්ය මොහොතක ව්යසනයෙන් පීඩාවට පත් ජනතාවට ලබාදෙනු ලබන සුව සේවාවන් වෙනුවෙන් ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායමට සහ ජපන් රජයට සිය ස්තුතිය පුද කිරීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (12) පෙරවරුවේ කටයුතු කරනු ලැබීය.
ඒ හලාවත පොලිස් ක්රීඩාංගණයේ ස්ථාපිත කර ඇති ජපන් විශේෂ ක්ෂේත්ර රෝහල නිරීක්ෂණයකට එක් වෙමිණි.
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා මහතා සහ ලෝක සෞඛ්ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද එක් විය.
මෙරට ඇතිවුන හදිසි ආපදා තත්ත්වය හමුවේ විශේෂයෙන්ම හලාවත මුලික රෝහල අකර්මණ්ය වීමෙන් පීඩාවට ලක්වූ ජනතාවට කඩිනම් සෞඛ්ය සේවා ලබාදීමේ අරමුණින් මෙරටට පැමිණි ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම සෞඛ්ය අමාත්යාශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත හලාවත සහ ඒ අවට ප්රදේශයන්හි ආපදාවට ලක් වු ජනතාවට ප්රතිකාර සේවාවන් ලබාදීම ප්රමුඛ අරමුණ කරගනිමින් විශේෂ ක්ෂේත්ර රෝහලක් හලාවත මූලස්ථාන පොලීස් ක්රීඩාංගනයේ ස්ථාපිත කෙරිණි.
පසුගිය 04 වනදා සිට එම ජංගම රෝහල ප්රතිකාර සේවාවන් ආරම්භ කරන ලද අතර, එම විශේෂ ක්ෂේත්ර රෝහල මගින් දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා අඛණ්ඩව ප්රතිකාර සේවාවන් සිදුකරනු ලබයි.
මෙහි දී දෛනිකව ලබාදෙන සහන සෞඛ්ය සේවා ක්රියාක්මක එක් එක් රෝගී පරීක්ෂණ ඒකක වෙත ගොස් නිරීක්ෂණය කළ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා මෙම ක්ෂේත්ර රෝහල සියලු පහසුකම් සහිත පළමු අදියරේ රෝහලක් බවත් (type 1) දිනකට රෝගීන් සියයකට අධික පිරිසකට ප්රතිකාර සේවාවන් සිදුකර ඇති බවත් පැවසී ය.
ජපානය ශ්රී ලංකාවේ ඉතා මිත්රශීලී රටක් බව ද අවධාරණය කළ අමාත්යවරයා මෙරට විවිධ ආපදාවන්ට ගොදුරු වූ සෑම අවස්ථාවකදීම පාහේ ජපානය සහයෝගය ලබාදීමට පැමිණෙන බවද සිහිපත්කර සිටියේය.
මෙරටට පැමිණි සහන කණ්ඩායම් අතරින් පළමුවෙන්ම පැමිණි කණ්ඩායම ලෙස මෙම කණ්ඩයම හැදින්විය හැකි බවත් ව්යසනයෙන් පීඩාවට පත් ජනතාවට ලබා දෙනු ලබන කාර්යක්ෂම ප්රතිකාර සේවන් ඇගයීමට ලක් කරන බවත් ජපන් රජයට සිය ස්තුතිය පිරිනමන බව ද අමාත්යවරයා පැවසීය.
ඉදිරි දින කිහිපය තුළ හලාවත ප්රදේශයේ රැදී සිට ප්රතිකාර සේවාවන් සිදුකිරීමට කටයුතු කරනු ඇති බවත්, මෙි වනවිට රෝහල් පද්ධතියට ඇතිවූ හානිය පිළිබඳ වාර්තා සකස් කෙරෙන බව ද, මෙවැනි ආපදා වලට නිතර ලක්වන රෝහල් සහ සෞඛ්ය ආයතන කිහිපයක් වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමට අදහස් කරන බව මෙහි දී අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
ජල ගැල්මට හසුවූ හලාවත දිස්ත්රික් මහ රෝහලේ මේ වන විට ප්රතිකාර සේවාවන් අදියරෙන් අදියර ක්රියාත්මක කිරීමට කටයුතු කරන අතර සියලුම ප්රතිකාර සේවාවන් ජනතාවට ලබා දීමට නොහැකි මෙම අවස්ථාවේ ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායමේ විශේෂ ක්ෂේත්ර රෝහල ස්ථාපිත කිරීමට සුදුසුම ස්ථානය හලාවත වන බැවින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත මෙම ක්ෂේත්ර රෝහල මෙහි ස්ථාපිත කිරීමට කටයුතු කෙරිණි.
විශේෂඥ වෛද්යවරුන්, වෛද්යවරුන්, හෙදියන්, ඖෂධවේදීන්, රසායනාගාර විශේෂඥයින්, විකිරණවේදීන්, සැපයුම්කරුවන්, සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළුව සෞඛ්ය වෘත්තිකයන් 31 දෙනෙකු මෙම හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායමට ඇතුළත් වන අතර මීට අමතරව 15 දෙනෙකුගෙන් පමණ සමන්විත සහායක කණ්ඩායමක් ද මෙම කටයුතු වලට සහාය ලබාදෙයි.
මෙම අවස්ථාවට රාජ්ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබේරත්න, පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අජිත් ගිහාන් ප්රනාන්දු, ගයාන් ජානක, හරුණි විජේසිංහ, සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන, හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ප්රධානී IWASE KIICHIRO යන මහත්ම මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.