අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්රික්කයට ඇති වී තිබෙන ආපදා තත්ත්වය පාලනය කිරිම සදහා අවශ්ය සියලු පියවර ගනිමින් සිටින බව අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සදහන් කරයි. දැනට වැසි තත්ත්වය තරමක් අඩු වී තිබෙන බව වාර්තා වෙයි.
අනුරාධපුර ප්රාදේශිය ලේකම් කොට්ඨාස 22 ක තුළින්ම ආපදා තත්ත්වයන් වාර්තා වේ. දැනට දිස්ත්රික්කයේ පවුල් 2277කට අයත් පුද්ගලයින් 6925 දෙනෙකු පීඩාවට පත්ව සිටී. මේ අතරින් ප්රාදේශිය ලේකම් කොට්ඨාස 17කට අයත් පවුල් 793 ක පුද්ගලයින් 2468ක් කදවුරු 36 රදවා සිටී. ඔවුන්ට අවශ්ය පිසූ ආහාර සහ වියලි ආහාර ලබාදීමට පියවර ගෙන තිබෙන බව දිස්ත්‍රික් වාර්තා පෙන්වා දෙයි.
ප්රධාන ජලාශ සියල්ල ඇතුළු සියලු වැව් පිරී පවතී. එමෙන්ම රාංජාගනය , කලාවැව , පදවිය , නාච්චාදූව වැනි වැව් වල වාන් දොරටු විවෘත කර ඇත. දිසා ලේකම්වරයා සදහන් කළේ, වල්වතු ඔය හා යාන් ඔය ද්රෝණි අවට ජලයෙන් යටව පවතින බව යි.
ස්ථාන ගණනාවක පුද්ගලයින් ජල ගැලීම් නිසා පැමිණිමට නොහැකිව කොටුව සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා අවශ්ය පියවර ගනිමින් සිටී. ත්රිවිධ හමුදාව , පොලීසිය , ඇතුළු බොහෝ පිරිස් මේ වෙනුවෙන් කැපවන බව අනුරාධපුර ආපදා සහකාර අධ්යක්ෂ නයන් සමරකෝන් මහතා සදහන් කළේ ය. දැනට තලාව , ඉපලෝගම, තඹුත්තේගම , මල්වතුඔය , නොච්චියාගම හා රාජාංගනය යන ප්රදේශවලට බෝට්ටු යොදාවා පිරිස් මුදා ගමින් පවතී. ආපදා මධ්යස්ථානය සදහන් කළේ , ඇතැම් ස්ථානවලට බෝට්ටු වලින් පවා යාම අසීරු වී ඇති බවයි. එම ස්ථාන වෙත හෙලිකොප්ටර් හැකි ඉක්මනින් යෙදවීමට ද පියවර ගනිමින් සිටි. අද උදෑසන සිට එළෙස හෙලිකොප්ටර් මාර්ගයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මුදා ගැනීමට ද පියවර ගත්තේ ය.
නැගෙනහිර නුවරගම් පලාත , මධ්යම නුවරගම් පලාත ප්රදේශවල මල්වතු ඔය දෙපස විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින අතර ජලයට කොටු වී සිටින පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්රියාත්මකයි.
තඹුත්තේගම , නිරාවිය ගොවිපල අසල පුද්ගලයින් විසි දෙනෙකු පමණ ජලයට කොටු වී සිටින අතර මෙම ස්ථානයට ද ජීවිතාරක්ෂක කණ්ඩායම් යැවීමට පියවර ගෙන ඇත. ඉපලෝගම , පලුගස්වැව ගොවිපල ග්රාම නිලධාරි වසමේ කනත්ත ප්රජා ශාලාව අසල පුද්ගලයින් 54 දෙනෙකු කොටුව සිටී.
අනුරාධපුර ස්වර්ණමාලි විශ්රාම ශාලාව අසල පුද්ගලයින් 60 ක් පමණ රැදී සිටින අතර ඔවුන් ද මුදා ගැනිමේ කටයුතු වෙනුවේ ක්රියා කරමින් සිටී. තලාව , පොකුණු ගම්මානයේ පුද්ගලයින් 52 නෙකු මුදා ගැනීමේ කටයුතු ද සිදුකරයි. මෙම ස්ථානයේ මුදා ගැනිම් වලින් පසුව තලාව ප්රියංකරගම ප්රදේශයේ ජලයට කොටු වී සිටින පිරිස මුදා ගැනිමට කටයුතු කරන බව ද ආපදා කළමණාකරණ මධ්යස්ථානය සදහන් කළේ ය.
මීට අමතරව තලාව , යාය 10 ප්රාදේශයේ ද පුද්ගලයින් හයදෙනෙකු ජල ගැලීම් හේතුවෙන් කොටු වී සිටින බව වාර්තා වේ. නොච්චියාගම , කටුපත්වැව ප්රාදේශයේ පිරිස ද මුදා ගැනිමේ කටයුතු සිදුකරයි.
මැදවච්චිය කොට්ඨාසයේ ලිදවැව , දුමින්දේගම යන ප්රදේශවල පවුල් හතලික පමණ පිරිසක් ජලයට කොටු වි සිටින අතර ඔවුන් මුදා ගැනිමේ කටයුතු සදහා අවශ්ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.
කලා ඔය පාලම අසල දි ජලයට හසු වූ බස් රථයක සිටින පිරිස මුදා ගැනීමේ කටයුතු ඉතා අසීරු තත්ත්වය ක පවතින නමුත් ඔවුන් මුදා ගැනිමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවති. ඉපලෝගම සේනපුර ප්රදේශයේ පිරිසක් ද මුදා ගැනිමේ කටයුතු සිදුකිරිමට පියවර ගෙන ඇත.
අධික වර්ෂාව නිසා අනුරාධපුර දිස්ත්රික්කයේ වැඩි විශාල සංඛ්යාවක වාන් කපා ජලය ඉවත් කිරිමට පියවර ගෙන ඇත.
මේ අතර යාපනය සිට කොලඹ බලා ධාවනය කෙරුණු දුම්රියක් අනුරාධපුර දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර එහි සිටින 350 ක පමණ මගින් පිරිසට ආහාර සැපියීමේ කටයුතු සිදුකරයි. තව ද කොලඹ සිට අනුරාධපුරය බලා ධාවනය වු දුම්රියක් තලාව ප්රදේශයේ නවතා තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය සමග දුර බැහැර ප්රදේශවලට ගමන් කිරිමෙන් වලකින ලෙසත් , තම ප්රදේශ තුලම ඉතා අවධානයෙන් පසුවන ලෙසත් අනුරාධපුර දිසා ලේකම්වරයා ජනතාවට දැනුම් දෙයි.
මේ අතර පවතින ආපදා තත්ත්වයන් පාලනය කිරිම සදහා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද උදෑසන අනුරාධපුර දිස්ත්රික් ලෙක්ම් කාර්යාලයේ දි පැවැත් වීය. ඒ රුවන්වැලි චෛත්යාරාමාධිකාරි , රජරට විශ්වවිද්යාලයේ කුලපති පූජ්ය ඊතල්වැටුණවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ සහ වෙළද , වානිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ , පලාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස , පාර්ලිමේන්තු මන්ත්රි භාග්ය ශ්රී හේරත් , අනුරාධපුර දිසා ලේකම් රංජිත් විමලසුරිය යන මහත්වරුන් ඇතුළු නිලධාරි පිරිසකගේ සහභාගීත්වයෙනි.