කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය නොකරණ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ඊයේ ( 24) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී එක්වෙමිනි.
ප්‍රජාවට කරන ලද සේවය සහ අධ්‍යාපනික සුදුසුකම් අනුව තෝරාගන්නා ලද පුද්ගලයින් අතරින් 114 දෙනෙකුට නව සාම විනිසුරු පත්වීම් ලබාදීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"සාමදාන විනිසුරු පදවිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ යුක්තිය ඉටුකිරීමේ වැදගත්ම කුළුණු වලින් එකක් ලෙස හඳුන්විය හැකියි. මෙම පත්වීම් ලිපි ලැබෙන විට, ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් මම ඔබට කියන්න කැමතියි, ඔබ අද සිදුකරන්නේ තනතුරක් භාර ගැනීම පමණක් නොවේ. ඔබ ජාතිකමය වශයෙන් සිදුකරන පරිවර්තනයක වගකිවයුතු කොටස්කාරයකු බවට අද දින සිට පත්වෙනවා. අද සිට ඔබගේ රාජකාරිය තුළ නියෝජනය විය යුත්තේ දේශපාලන පක්ෂපාතිත්වය නොවේ. සම්බන්ධතා නොවේ. ගනුදෙනු නොවේ.
ඔබේ පත්වීම නියෝජනය කරන්නේ, කුසලතා, අවංකත්වය, මහජන ගෞරවය, විනය සහ කිසිදු පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සේවය කිරීමට ඇති සූදානමයි. ඔබේ රාජකාරිය ආරම්භ වන්නේ මිනිසුන්ට උපකාර, මග පෙන්වීම සහ ආරක්ෂාව සොයන අවස්ථාවේදීයි. අද සිට ඔබ පුරවැසියා සහ රාජ්‍යය අතර පාලම බවට පත්වෙනවා.
ශ්‍රී ලංකාවට නැවතත් නැගී සිටිය හැක්කේ බොරු පොරොන්දු මගින් හෝ, දේශපාලන නාට්‍ය හරහා හෝ සටන් පාඨ හරහා හෝ නොව විනය, නීතිය, යුක්තිය, ගෞරවය සහ පිරිසිදු පාලනය මගින් පමණයි. නව යුගයක් ආරම්භ වන්නේ පිරිසිදු දෑත් සමඟයි. මහජනතාව සෑම රාජ්‍ය නිලධාරියෙකුගෙන්ම සාධාරණත්වය, අවංකබව සහ විශ්වසනීයත්වය ඉල්ලා සිටින කාලයක ඔබව සාමදාන විනිශ්චයකරුවකු ලෙස අද පත්වීම් ලබනවා."