මෙවර අයවැයෙන් දැවැන්ත මුදලයක් වෙන් කිරීමට කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
i. සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය
කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඩිජිටල්කරණය අවම මට්ටමකයි තිබෙන්නේ. ඒ අනුව, 2025 වසරේ සිට සෞඛ්‍ය සේවා සැපයීම ඩිජිටල්කරණය වීම වැඩි දියුණු කිරීම සඳහා නව මුලපිරීම් හා මැදිහත්වීම් සිදු කරනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) කාර්යයන් ඩිජිටල්කරණය කිරීම සහ “සුවස්ථා” පද්ධතිය වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම මෙයට ඇතුළත් වෙනවා.
ii. ග්‍රාමීය මට්ටමේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම
බෝ නොවන රෝග පාලනය සහ වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක (PMCUs) 1,000 කට අධික ප්‍රමාණයක සහ ප්‍රාදේශීය රෝහල්වල සේවා සැපයීම වැඩිදියුණු කිරීමට පියවර ගනු ලබනවා. තවද, විශේෂයෙන් වයස්ගත ජනගහනය ඉලක්ක කර ගනිමින් සෑම දිස්ත්‍රික්කයකම තෝරාගත් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සහන සහ වයෝවෘද්ධ සත්කාර සේවා පවත්වනවා. පවතින මානව සම්පත් ප්‍රතිසංවිධානය කිරීම හරහා අවශ්‍ය මානව සම්පත් ලබා දීමට කටයුතු කරනවා.
iii. වතු ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වය
ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන්ට (PPP) එළඹීම හරහා වතු ආශ්‍රිත සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගන්නවා. වතුවල ඇති රෝහල්වලට අවශ්‍ය මානව සම්පත්, අවශ්‍ය උපකරණ සහ ඖෂධ රජයෙන් ලබා දෙනවා.
iv. වසංගත සූදානම
ඉදිරි වසර තුන තුළ සංවර්ධන පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව වසංගත වැළැක්වීම, සූදානම සහ වසංගත සඳහා සුදුසු පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ඇති ජාතික ධාරිතාව වැඩිදියුණු කරනවා. මීට අමතරව, ඉදිරියේ දී ඇති විය හැකි සෞඛ්‍ය උවදුරු කල් ඇතිව සූක්ෂමව නිරීක්‍ෂණය කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ හැකියාව ශක්තිමත් කරනවා.
සෞඛ්‍ය සම්පන්න ජනගහනයක් මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා තීරණාත්මක වන අතර, එය ඵලදායිතාව ඉහළ නැංවීමට, අධ්‍යාපනික ප්‍රතිඵල වර්ධනයට, ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නැංවීමට, නවෝත්පාදන සහ කුසලතා සංවර්ධනය සඳහා සෘජුවම දායක වෙනවා. එය සමාජ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ආර්ථික වර්ධනය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරනවා. ඒ අනුව, 2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් මිලියන 604,000 දක්වා සැලකිය යුතු ලෙස වැඩි කර තිබෙනවා.
ඖෂධ සැපයුම සහ වෛද්‍ය සැපයුම සහතික කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 185,000ක් වෙන් කර තිබෙනවා. ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය සැපයුම් කිසිදු බාධාවකින් තොරව ප්‍රසම්පාදනය හා බෙදා හැරීම සහතික කිරීමටත්, ප්‍රසම්පාදන ක්‍රියාවලීන් ප්‍රශස්ත කරන අතරම නාස්තිය අවම කිරීමටත්, අරමුදල් සම්පූර්ණයෙන් භාවිතා කිරීමටත් රජය සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනවා.
v. ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සෞඛ්‍ය ප්‍රතිකාර ලබාදීම
ශ්‍රී ලංකාව තුළ පසුගිය දශකය තුළ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වසර 5 ක ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. මූලික පියවරක් ලෙස, ස්නායු සංවර්ධන ආබාධ සහිත ළමුන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි පිහිටුවීම සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා. තවද, ඉදිරි වසර පහ තුළ අවශ්‍ය මානව සම්පත් සහිතව සෑම දිස්ත්‍රික්කයකම මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට අපේක්ෂා කරනවා.
vi. ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සියල්ල අන්තර්ගත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක්
ඔටිසම් තත්වයේ පසුවන ළමුන් සඳහා පෙර පාසල් සහ දිවා සුරැකුම් පහසුකම් සීමිතයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත ළමුන් සඳහා ලබාදිය යුතු සියල්ල අන්තර්ගත අධ්‍යාපනය සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ පෙර පාසල් ගුරුවරුන් සහ භාරකරුවන්ට ඊට අවශ්‍ය හැකියාව හා අවබෝධය නොමැතිකමයි. ඒ අනුව, ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට අප යෝජනා කරනවා.