දරුවන්ගේ අනාගතය නිර්මාණය කරන ගුරුවරුන් බිහිකරන මෙරට විද්‍යාපිඨ පද්ධතිය තුළ ලබාදෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස් වී නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයට වසර 25ක් පිරීම නිමිත්තෙන් විද්‍යාපිඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් පොලොන්නරුව, පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පිඨයේ සංවිධානය කළ "පුළතිසිය තරුණයි" සැමරුම් උත්සවය අමතමින් අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මේ බව සඳහන් කළාය.
පුලතිසිපුර අධ්‍යාපන විද්‍යා පිඨයේ ලාංඡනය සහිත සමරු ඵලකය නිරාවරණය කිරීම හා විද්‍යාපිඨ පරිශ්‍රයේ නා පැලයක් රෝපණය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදු කළ අතර
2000 වසරේ සිට 2025 දක්වා කාලය තුල මෙහි සේවය කළ පිඨාධිපතිවරුන් ඇතුළු සමස්ථ කාර්යමණ්ඩලය ඇගයීමද මෙහිදී සිදු කෙරිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
අග්‍රාමාත්‍යවරිය ලෙස නිල වශයෙන් අධ්‍යාපන විද්‍යා පිඨයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
අපේ රජය අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. රට තුළ ඇතිකළ යුතු පරිවර්තනය සිදු කරන්න නම් අධ්‍යාපනයේ ගුණාත්මක වෙනස්කම් සිදු විය යුතු බව රජය අවබෝධ කරගෙන තිබෙනවා.
2026 සිට අපි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්ලාස්ටර් ගහලා, තියන එක ඇදගෙන යන ක්‍රමයක් නෙමෙයි. එය ගුණාත්මක හා මානුෂීය මෙන්ම නවීන ලෝකය ජයගත හැකි පුද්ගලයෙක් බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක්.
අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැඳී තිබෙන්නේ ගුරුවරුන් මත, අපි බලාපොරොත්තු වන අරමුණට යන්න ගුරුවරුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න නියමිතයි. ලෝකයේ හොදම අධ්‍යාපනය ගෙනත් දෙන්න පුලුවන්, නවීන තාක්ෂණය අපිට ගෙනත් දෙන්න පුලුවන් නමුත් ඒ සියල්ලේ අවසන් ප්‍රතිඵලය තීරණය වෙන්නේ ගුවරුන් හා සිසුන් අතර තිබෙන ගුණාත්මක හා මානූෂීය සබඳතාවයේ ශකතිය තුළයි.
මෙතෙක් කලක් පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අමතකම වූ කොටස ගුරුවරු, ගුරුවරුන් පුහුණුවෙන් හා දැනුමින් සන්නද්ධ කරන්න ඒ ප්‍රතිසංස්කරණවල වැඩ පිලිවෙලක් තිබුණේ නැහැ.
අපේ මූළික අවධානය යොමු වෙලා තිබෙන්නේ ගුරුවරුන්ගේ වෘත්තීය ගුණාත්මකභාවය දියුණු කරමින් පුහුණුවෙන් හා දැනුමින් වර්ධනය කිරීමටයි.
ගුරුවරයෙකුට අද සමාජයේ තියන පිළිගැනීම හෝ ඔබ ගුරු වෘත්තිය තෝරා ගැනීම පිලිබඳ ඔබට සැහිමකට පත්වෙන්න පුලුවන්ද?
ගුරු වෘත්තිය කියන්නේ දරුවෙක්ගේ අනාගතය හදන්නත්, විනාශකරන්නත් පුලුවන් බලයක් තිබෙන වෘත්තියක්. රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කරන්න නම් එවැනි බලයක් තිබෙන ශක්තියක් හා වගකීමක් තිබෙන ගුරුවරුන් මේ රටේ බිහි විය යුතුයි. නමුත් එවැනි අධ්‍යාපනයක් ලබන්න පුලුවන් පරිසරයක්,සම්පත් හෝ යටිතල පහසුකම් විද්‍යාපිඨතුළ තිබෙනවද ? අද මම මේ විද්‍යාපිඨය නිරීක්ෂණය කරනවා, අපි බලමු ඒ තත්වය තියනවද කියලා.
විද්‍යාපිඨ තුළින් උපාධිය ලබා දීම පිලිබඳ සංවාදයක් ඇති වී තිබෙන බව මම දන්නවා. ඒක බෝඩ් එක වෙනස් කරලාත් කරන්න පුලුවන්. අතීතයේ එහෙම සිදුවෙලා තිබෙනවා. නමුත් ගැටලුව එහි අන්තර්ගතයේ ගුණාත්මකභාවය තිබෙනවාද යන්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවා.ය
උත්සවයෙන් අනතුරුව පුහුණු විද්‍යාර්ථීන් විසින් විෂයානුබද්ධව නිර්මාණය කළ නිර්මාණ ප්‍රදර්ශනය නැරඹීමට හා විද්‍යාපිඨයේ පහසුකම් පිලිබඳ සොයා බැලීමේ නිරීක්ෂණයකට ද එක් විය.
කඳුරුවෙල ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති, අමරපුර සද්ධම්ම යුක්තික නිකායේ ලේඛකාධිකාරී, උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පූජ්‍ය කඳුරුවෙල ධම්මපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, පුලතිසි විද්‍යාපිඨයේ පිඨාධිපති එම්, චන්ද්‍රසිරි පෙරේරා යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන්, ආදි විද්‍යාර්ථීන්, විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.