Wednesday, October 09, 2024
Follow Us
ශ්වසන රෝගීන්ගේ ඉහළ යාමක්

ශ්වසන රෝග හේතුවෙන් රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු බව අනාවරණය වේ.

පසුගිය දා (27) කොළඹ පැවැත්වූ  ශ්වසන සෞඛ්‍ය පිළිබද ගෝලීය පරීක්ෂණ ඒකකයේ (NIHR) වාර්ෂික විද්‍යාත්මක රැස්වීමේ  දී මේ බව අනාවරණය විය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට ශ්වසන රෝග ප්‍රධාන වශයෙන් බලපානු ලබන අතර නිදන්ගත ශ්වසන රෝග (CRD) සහ නියුමෝනියා රෝග තත්ත්වයන් හේතුවෙන් 2017 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ රෝහල් මරණවලින් වැඩිම සංඛ්‍යාවක් එනම්  18% සිදුව ඇත.

නිදන්ගත ශ්වසන රෝග අතර, ඇදුම සහ නිදන්ගත බාධාකාරී පෙනහළු රෝග (COPD), රෝග සහ මරණ වැඩිම ප්‍රමාණක් ඇති කරන ප්‍රධාන රෝග දෙක වේ.

පසුගිය දශකය තුළ සමානුපාතික මරණ දත්ත සංසන්දනය කිරීමේදී මෙම තත්ත්වයන් දෙක හේතුවෙන් රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් අනාවරණය වී ඇත.

ළමා කාලයේ හුස්ම හිරවී දරුවන් පාසලට නොපැමිණීමට ප්‍රධාන හේතුවක් වන අතර වැඩිහිටියන් තුළ ඇදුම සහ නිදන්ගත බාධාකාරී පෙනහළු රෝග පිළිවෙළින් 11% සහ 10.5% ක ඉහළ ව්‍යාප්තියක් ඇත. 

වාතයේ ගුණාත්මක භාවය පෙනහළු පිළිකා ඇතුළු බොහෝ ශ්වසන රෝග සඳහා ප්‍රබලව බලපානු ලබන අතර, කුස්සි දුමට නිරාවරණය වන ග්‍රාමීය ප්‍රජාවන්ගේ දුම් නොබොන කාන්තාවන් අතර ප්‍රමාද වී ඇති වන හුස්ම හිරවීම බහුලව දක්නට ලැබෙන බව නිරීක්ෂණය වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික පර්යේෂකයන්, පුළුල් විෂය පථය තිබියදීත් එය බොහෝ දුරට අඩුවෙන් අධ්‍යයනය කර තිබීම හේතුවෙන්, RESPIRE සහයෝගිතාව යටතේ තම පර්යේෂණ කේන්ද්‍රස්ථානය ලෙස ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය තෝරාගෙන ඇත.

2019 වසරේ දී  නිදන්ගත ශ්වසන රෝග ගෝලීය වශයෙන් මරණ සඳහා තුන්වන ප්‍රමුඛතම හේතුව වී ඇති අතර, රෝගීන් මිලියන 454,6 ක ව්‍යාප්තියක් සහිත මරණ මිලියන හතරකට වගකිව යුතුය.